එස්රා 6:1-12

එස්රා 6:1-12 SROV

එකල දාරියුෂ් රජු කළ නියෝගයක් පිට බබිලෝනියෙහි වස්තු නිධානකරනලද පොත්-ගබඩාවෙහි සොයා බලනලද්දේය. එවිට මෙයාකාර සටහනක් ලියා තිබෙන පොතක් මේදියා දනව්වේ තිබෙන අක්මෙතා බලකොටුවෙහි තිබී සම්බවිය. කෝරෙෂ් රජුගේ පළමුවෙනි අවුරුද්දේදී කෝරෙෂ් රජ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය ගැන නියෝගයක් කෙළේය. ඒ මෙසේය: ඒ ගෘහය පූජා ඔප්පුකරන ස්ථානයක් කොට ගොඩනගනු ලැබේවා, ඒකේ අත්තිවාරම් සවිකොට පිහිටුවනු ලැබේවා; හැට රියනක් උසටද හැට රියනක් පළලටද, මහත් ගල් පේළි තුනක් සහ අලුත් ලී පේළියකුත් ඇතුව එය සාදනු ලැබේවා. වියදමද රජ ගෙයින් දෙනු ලැබේවා. තවද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙහි තිබෙන මාලිගාවෙන් රැගෙන බබිලෝනියට ගෙනෙනලද දෙවියන්වහන්සේගේ ගෘහයේ රන් රිදී භාණ්ඩ ආපසු දෙනු ලැබ යෙරුසලමෙහි තිබෙන මාලිගාවේ නියම තැන්වල තිබීමට ගෙනයනු ලබාවා, ඒවා දෙවියන්වහන්සේගේ ගෘහයෙහි නුඹ විසින් තැබිය යුතුය යනුය. ඒ නිසා ගඟ එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ එගොඩ සිටින අපර්සෙකාවරු වන නුඹලාගේ සහකාරයෝද යන නුඹලා එතැනින් ඈත්ව සිටින්න. දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ වැඩ කෙරීගන ගියාවේ. යුදෙව්වරුන්ගේ දිශාධිපතියාද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද දෙවියන්වහන්සේගේ මේ ගෘහය ස්වකීය ස්ථානයෙහි ගොඩනගත්වා. ඇරත් දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ ගොඩනැගීම පිණිස නුඹලා විසින් යුදෙව්වරුන්ගේ ඒ වැඩිමහල්ලන්ට කළයුතු දේ කිමෙක්දැයි නියෝගයක් කරමි: එනම් ඒ මනුෂ්‍යයන්ට අවහිරයක් නොවන පිණිස රාජසන්තක දෙයින් එනම් ගඟ එගොඩින් ලැබෙන ආදායමෙන් ඉක්මනින් ඔවුන්ට වියදම දෙන ලෙසය. ඔවුන්ට ස්වර්ගයේ දෙවියන්වහන්සේට මිහිරි සුවඳ ඔප්පුකර රජුගේද ඔහුගේ පුත්‍රයන්ගේද ජීවිත ශුභසිද්ධිය උදෙසා යාච්ඤාකරන පිණිස, ඔවුන්ට ඕනෑකරන දේ එනම් යෙරුසලමෙහි සිටින පූජකයන්ගේ නියමය ප්‍රකාර ස්වර්ගයේ දෙවියන්වහන්සේට දවන පූජා ඔප්පුකිරීමට ගොන්නාම්බන්ද බැටළුවන්ද බැටළුපැටවුන්ද තිරිඟුද ලුණුද මුද්‍රිකපානයද තෙල්ද දවස්පතා නොවරදවා ඔවුන්ට දෙනු ලැබේවා. තවද යමෙක් මේ ආඥාව කඩකළොත් ඔහුගේ ගෙයින් බාල්කයක් උදුරා තබා ඔහු උස්සා එහි ගසා තබන හැටියටත් ඔහුගේ ගෙයද මේ නිසා කසළ ගොඩක් කරනු ලබන හැටියටත් නියෝගයක් කරමි. මේක වෙනස්කර යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මේ ගෘහය විනාශකරන්ට තමුන්ගේ අත දිගුකරන සියලු රජුන්ද ජාතීන්ද ස්වකීය නාමය එහි පිහිටෙවුවාවූ දෙවියන්වහන්සේ විනාශකරනසේක්වා. දාරියුෂ් නම් මම නියෝගයක් කෙළෙමි; එය ඉක්මනින් ඉෂ්ටකරනු ලැබේවා යනුයි.

මෙයට අදාළ වීඩියෝ

එස්රා 6:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය