එස්රා 4:11-22

එස්රා 4:11-22 SROV

ඔවුන් අර්තක්ෂස්තා රජු වෙතට ලියා ඇරිය ලියුමේ පිටපත මේය: ගඟ මෙගොඩ සිටින මනුෂ්‍යයන් ආදිවූ ඔබගේ දාසයන් විසින් ලියා එවන වග නම්– ඔබ වෙතින් අප ළඟට ආ යුදෙව්වන් යෙරුසලමට පැමිණ ඒ කැරළිකාර නපුරු නුවර ගොඩනගන බවත් පවුරු තීන්දුකර අත්තිවාරම අලුත්වැඩියාකරන බවත් රජතුමා දැනගනීවා. ඉතින් මේ නුවර ගොඩනගා පවුරු තීන්දුකළොත් මොවුන් තීරුවවත් ආදායමවත් සුංගමවත් නොදෙන බවත් මෙසේ අන්තිමේදී රජුන්ට එයින් අලාභ සිද්ධවෙන බවත් රජතුමා දැනගනීවා. ඉතින් අප මාලිගාවේ ලුණු කමින් සිටියදී රජ්ජුරුවන්ට අලාභ පැමිණෙනවා බලා ඉදීම අපට නුසුදුසු බැවින් ඔබගේ පියවරුන්ගේ ලේකම් පොත විභාගකරන පිණිස රජ්ජුරුවන්ට දන්වා එවීමුව. මෙසේ ඔබ ලේකම් පොතෙහි සොයා බැලුවොත් මේ නුවර කැරළිකාරවූ, රජවරුන්ටත් රටවලටත් අලාභකරන්නාවූ නුවරක් බවත්, පුරාණ කාලයේ පටන් එහි ද්‍රෝහිකම් උපදවනලද බවත්, එම කාරණය නිසා ඒ නුවර නාස්තිකරනලද බවත් ඔබට දැනගන්ට ලැබෙනවා ඇත. මේ නුවර ගොඩනගා පවුරු සාදා නිමකළොත් ගඟ මෙගොඩ ඔබට කිසි කොටසක් ඉතුරු නොවන බව අපි රජ්ජුරුවන්ට දන්වා සිටිමුව යනුය. එවිට රජ්ජුරුවෝ රෙහුම් ආණ්ඩුකාරයාටත් ෂිම්ෂයි ලේකම්ටත් සමාරියේ වාසයකළ ඔවුන්ගේ අනික් සහකාරයන්ටත් ගඟ එගොඩ සිටින අනික් තැනැත්තන්ටත් උත්තරයක් වශයෙන් ලියා ඇරියේ මෙසේය: සමාදානය වේවා යනාදියෙන් ලියා එවන වගනම්– නුඹලා අපට එවූ ලියුම මා ඉදිරියෙහි පැහැදිලිලෙස කියවනලද්දේය; මා විසින් අණදෙන ලදුව විභාගයක්ද කරනලද්දේය. එවිට ඒ නුවර පුරාණ කාලයේ විරුද්ධකම්කළ බවත් එහි කැරළිද ද්‍රෝහිකම්ද සිදුවූ බවත්, ගඟ එගොඩ තිබෙන මුළු රට ආණ්ඩුකළ බලවත් රජුන් යෙරුසලමෙහි සිටි බවත් තීරුවද ආදායම්ද සුංගම්ද ඔවුන්ට දෙනලද බවත් දැනගන්ට ලැබුණේය. එබැවින් මා විසින් නියෝගයක් කරන තුරු ඒ නුවර ගොඩ නොනගන පිණිස ඒ මනුෂ්‍යයන් නවත්වන හැටියට නියෝගයක් කරන්න. අප්‍රමාදව මේක කරන ලෙස බලාගන්න. රජවරුන්ට අලාභ පැමිණෙන හැටියට අනතුරු වැඩිවෙන්ට ඉඩදෙන්නේ මක්නිසාද යනුයි.