එසකියෙල් 3:12-27

එසකියෙල් 3:12-27 SROV

එවිට ආත්මය මා ඔසවාගත්තේය. ස්වකීය ස්ථානයේ සිට ස්වාමීන්වහන්සේගේ මහිමයට ප්‍රශංසාවේවයි කියන මහත් ඝෝෂා ශබ්දයක් මා පස්සෙන් මට ඇසුණේය. එකිනෙකට වැදුණු සත්වයන්ගේ පියාපත්වල ළඟ තිබුණු රෝදවල ශබ්දයද මහත් ඝෝෂා ශබ්දයක්ද මට ඇසුණේය. මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය. එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබීබ් යන ස්ථානයෙහි විසූ වහල්කමේ සිටියවුන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් අතරෙහි විස්මපත්ව හිඳගන උනිමි. තවද සත් දවසකට පසු ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ මෙසේ කීය: මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න. නුඹ සැබවින් නසින්නෙහියයි මා විසින් දුෂ්ටයාට කියන කල, නුඹ ඔහුට අවවාද නොකරන්නෙහි නම්, දුෂ්ටයා ජීවත්වෙන පිණිස තමාගේ දුෂ්ට මාර්ගයෙන් හැරෙන ලෙස ඔහුට අවවාදකිරීමට ඔහුට කථා නොකරන්නෙහි නම්, දුෂ්ටවූ ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; එහෙත් ඔහුගේ ලේ නුඹ අතින් අයකරන්නෙමි. නුමුත් නුඹ දුෂ්ටයාට අවවාදකළාම ඔහු තමාගේ දුෂ්ටකමෙන්ද තමාගේ දුෂ්ට මාර්ගයෙන්ද නොහැරෙන්නේ නම්, ඔහු තමාගේ අයුතුකමෙහි නසිනවා ඇත; නුමුත් නුඹ නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහිය. තවද ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකම අත්හැර අයුතුකම් කළාම, පැකිලීමට කාරණයක් මම ඔහු ඉදිරියෙහි තබන විට ඔහු නසිනවා ඇත. නුඹ ඔහුට අවවාද නොකළ නිසා ඔහු තමාගේ පාපයෙහි නසිනවා ඇත, ඔහු කළාවූ ඔහුගේ ධර්මිෂ්ඨකම සිහිකරනු නොලබන්නේය; ඔහුගේ ලේද නුඹ අතින් අයකරන්නෙමි. නුමුත් ධර්මිෂ්ඨයා පව් නොකරන ලෙස නුඹ ධර්මිෂ්ඨයාට අවවාදකළාම, ඔහු පව් නොකර සිටියොත්, අවවාදය පිළිගත් බැවින් ඔහු සැබවින්ම ජීවත්වන්නේය; නුඹද නුඹේ ප්‍රාණය ගළවාගත්තෙහියයි කීය. එවිට ස්වාමීන්වහන්සේගේ අත එහිදී මා පිටට පැමුණුණේය; උන්වහන්සේද: නැගිට සමභූමියට යන්න, එහිදී නුඹ සමඟ කථාකරන්නෙමියි මට කීසේක. එකල මම නැගිට සමභූමියට ගියෙමි. එවිට කෙබාර් ගඟ ළඟදී මා දුටු තේජස මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි. මම මුහුණින් වැටුණෙමි. නුමුත් ආත්මය මට ඇතුල්ව, මා නැගුටුවා සිටුවා, මා සමඟ කථාකොට: නුඹේ ගෙට වැද දොර වසාගන හිඳින්න. තවද මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් නුඹ පිට බැඳුම් දමා, නුඹ ඔවුන් අතරට නේන පිණිස ඒවායින් නුඹ බඳිනවා ඇත. මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්ට සලස්වන්නෙමි, එවිට නුඹ ගොළුවී, ඔවුන්ට තරවටුකරන මනුෂ්‍යයෙක් නොවී සිටිනවා ඇත. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය. එහෙත් මා නුඹ සමඟ කථාකරන කල නුඹේ මුඛය අරින්නෙමි, නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. අසන තැනැත්තේ අසාවා; නාසන තැනැත්තේ නාසා සිටීවා. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්යයි කීසේක.