නික්මයාම 4:1-17

නික්මයාම 4:1-17 SROV

එවිට මෝසෙස් උත්තර දෙමින්: එහෙත් බැලුව මැනව, ඔවුන් මා විශ්වාස නොකොට, මාගේ හඬට ඇහුම්කන් නොදී, ස්වාමීන්වහන්සේ නුඹට නොපෙනුණුසේකැයි කියනවා ඇතැයි කීය. එවිට ස්වාමීන්වහන්සේ: නුඹේ අතේ තිබෙන්නේ මොකක්දැයි ඔහුගෙන් ඇසූසේක. සැරයටියක්යයි ඔහු කීවේය. උන්වහන්සේ: ඒක බිම හෙලන්නැයි කීසේක. ඔහු ඒක බිම හෙළූ විට ඒක සර්පයෙක් විය; මෝසෙස් ඌ ඉදිරියෙන් දිවුවේය. ස්වාමීන්වහන්සේ: නුඹේ අත දිගුකොට ඌ වල්ගෙන් අල්වා ගන්නැයි මෝසෙස්ට කීසේක. (ඔහු තමාගේ අත දිගුකොට ඌ අල්වාගත්තේය, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් වුණේය.) ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පෙනුණු බව ඔවුන් විසින් විශ්වාස කරන පිණිස එසේ කරන්නැයි කීසේක. තවද ස්වාමීන්වහන්සේ: නුඹේ අත නුඹේ ළයෙහි තබන්නැයි ඔහුට කීසේක. ඔහු අත තමාගේ ළයෙහි තැබීය. ඔහු ඒක අහකට ගත්විට, බලව, ඔහුගේ අත හිම මෙන් කුෂ්ඨයෙන් සුදුවී තිබුණේය. උන්වහන්සේ: නුඹේ අත නැවත ළයෙහි තබන්නැයි කීසේක. (ඔහු තමාගේ අත නැවත ළයෙහි තැබීය; ඔහු ඒක තමාගේ ළයෙන් පිටතට ගත් විට, බලව, එය ඔහුගේ අනික් මාංසය මෙන් හරිගැහී තිබුණේය.) ඔව්හු නුඹ විශ්වාස නොකරන්නෝ නම්, පළමුවෙනි ලකුණේ හඬට කන්නොදෙන්නෝ නම්, ඔවුන් අනික් ලකුණේ හඬ විශ්වාස කරනවා ඇත. තවද ඔව්හු මේ ලකුණු දෙකම විශ්වාසනොකර නුඹේ හඬට කන්නොදෙන්නෝ නම්, ගංගාවෙන් වතුර රැගෙන වියළි බිමට වත්කරන්න. එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර භූමිය මතුයෙහි ලේ වන්නේයයි කීසේක. මෝසෙස්: අහෝ, ස්වාමීනි, මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථාකළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි. මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි ස්වාමීන්වහන්සේට කීයේය. එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද? එබැවින් දැන් යව, මම නුඹේ මුඛය සමඟ සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමියි ඔහුට කීසේක. ඔහු: අහෝ ස්වාමීනි, ඔබවහන්සේ යවන්ට කැමැත්තෙකු අත යැවුව මැනවයි කීය. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස මෝසෙස්ට විරුද්ධව ඇවුළුණේය, උන්වහන්සේ: නුඹේ සහෝදරවූ ලෙවීයයාවූ ආරොන් ඉන්නවා නොවේද? ඔහුට ව්‍යක්ත ලෙස කථාකරන්ට පුළුවන් බව දනිමි. බලව, ඔහු නුඹ සම්බවන්ට එන්නේය. ඔහු නුඹ දුටුවාම තමන් සිතින් සන්තෝෂවන්නේය. නුඹ ඔහුට කථාකොට ඔහුගේ කටට වචන දෙන්නෙහිය. මම නුඹේ මුඛයත් ඔහුගේ මුඛයත් සමඟ සිට නුඹලා විසින් කටයුතු දේ නුඹලාට උගන්වන්නෙමි. ඔහු නුඹ වෙනුවට සෙනඟට කථාකරන්නේය. මෙසේ ඔහු නුඹට මුඛයක් වන්නේය, නුඹ ඔහුට දෙවියන්වහන්සේ මෙන් වන්නෙහිය. නුඹ විසින් හාස්කම් දක්වන්ට මේ සැරයටිය නුඹේ අතින් ගනුවයි කීසේක.