නික්මයාම 32:9-14

නික්මයාම 32:9-14 SROV

තවද ස්වාමීන්වහන්සේ: මම මේ සෙනඟ විමසීමි, බලව, ඔව්හු තද කුළල් ඇති සෙනඟක්ය. එබැවින් මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී ඔවුන් විනාශකරන පිණිස මට ඉඩහරින්න; මම නුඹෙන් මහත් ජාතියක් උපදවන්නෙමියි මෝසෙස්ට කීසේක. මෝසෙස් තමන් දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කරනුයේ: ස්වාමීන්වහන්ස, ඔබ මහත් බලයෙන් හා බලසම්පන්න හස්තයකින් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔබගේ සෙනඟට විරුද්ධව ඔබගේ උදහස ඇවිළෙන්නේ මන්ද? උන්වහන්සේ ඔවුන් පිටතට ගෙනගියේ නපුර පිණිසය, එනම් කඳුවලදී ඔවුන් මරා පොළෝතලය මතු පිටින් ඔවුන් නාස්තිකරන පිණිසයයි කියන්ට මිසරවරුන්ට ඉඩදෙන්නේ මක්නිසාද? ඔබගේ තද උදහසෙන් හැරී ඔබගේ සෙනඟට පමුණුවන්ට යන මේ විපත ගැන තැවුණ මැනව. ඔබගේ මෙහෙකරුවන්වූ ආබ්‍රහම්ද ඊසාක්ද ඉශ්‍රායෙල්ද සිහිකළ මැනව, ඔබ ඔබවහන්සේ ගැනම ඔවුන්ට දිවුරමින්: නුඹලාගේ වංශය අහසේ තාරකා මෙන් බෝකොට මා කීවාවූ මේ මුළු දේශය නුඹලාගේ වංශයට දෙන්නෙමි, ඔව්හු එය සදාකාලේටම උරුමකරගන්නෝයයි ඔබ කීසේකැයි කීවේය. ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට කරන්නේයයි කී විපත ගැන තැවුණසේක.