නික්මයාම 18:13-26

නික්මයාම 18:13-26 SROV

තවද පසුවදා මෝසෙස් සෙනඟ විනිශ්චය කරන පිණිස හිඳගත්තේය. සෙනඟද උදය පටන් සවස දක්වා ඔහු අවට සිටියාහ. මෝසෙස් සෙනඟ සම්බන්ධව කරන සියල්ල ඔහුගේ මාමා දැක: නුඹ සෙනඟ ගැන කරන මේ දෙය කිමෙක්ද? නුඹ පමණක් වාඩිවී ඉන්නෙත් මුළු සෙනඟ උදේ පටන් සවස දක්වා නුඹ අවට නැගිට සිටින්නෙත් මක්නිසාදැයි කීය. මෝසෙස්ද: සෙනඟ දෙවියන්වහන්සේගෙන් විභාගකරන පිණිස මා වෙතට එන නිසාය. ඔවුන්ට කාරණයක් ඇති කළ ඔව්හු මා වෙතට එති; මමද මනුෂ්‍යයෙකු සහ ඔහුගේ අසල්වාසියා අතරේ විනිශ්චයකොට දෙවියන්වහන්සේගේ නියෝගයද ව්‍යවස්ථාද ඔවුන්ට දන්වමියි තමාගේ මාමාට කීවේය. මෝසෙස්ගේ මාමා ඔහුට කථාකොට: නුඹ කරන දේ හොඳ නැත. නුඹද නුඹ සමඟ සිටින මේ සෙනඟද ඒකාන්තයෙන් වෑරීයන්නහුය. මක්නිසාද මේ කාරණය නුඹට බර වැඩිය; නුඹට පමණක්ම එය ඉෂ්ටකිරීම නොහැකිය. ඉතින් මාගේ හඬට ඇහුම්කන් දෙන්න, මම නුඹට දැනමුතුකම්දෙමි, දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක්වා. නුඹ සෙනඟ උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේ ඉදිරියට කාරණා පමුණුවන්න. නුඹ ඔවුන්ට නියෝග සහ ව්‍යවස්ථා උගන්වා ඔවුන් විසින් හැසිරිය යුතු මාර්ගයත් කළ යුතු වැඩත් ඔවුන්ට පෙන්වාදෙන්න. ඇරත් නුඹ මුළු සෙනඟ අතරෙන් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ අයුතු ලාභයට ද්වේෂකරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද කොට සෙනඟ කෙරෙහි පත්කරන්න. ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චය කෙරෙත්වා. ඔව්හු සියලු මහත් කාරණා නුඹ වෙතට පමුණුවා සියලු සුළු කාරණා තුමූම විනිශ්චය කෙරෙත්වා. මෙසේ නුඹට හුඟක් පහසු වන්නේය, ඔව්හු නුඹ සමඟ බර උසුලන්නෝය. නුඹ මෙසේ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේත් එසේ නුඹට අණකරනසේක්නම්, නුඹට දැරියහැකි වන්නේය, මේ මුළු සෙනඟද තමුන්ගේ ස්ථානයට සමාදානයෙන් යන්නෝයයි කීවේය. මෝසෙස් තම මාමාගේ බසට කන්දී ඔහු කී සියල්ල කෙළේය. මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද වශයෙන් සෙනඟ කෙරෙහි ප්‍රධානීන් කොට ඔවුන් පත්කෙළේය. ඔව්හු සියලු ප්‍රස්තාවයන්හිදී සෙනඟ විනිශ්චයකළෝය. අමාරු කාරණා මෝසෙස් වෙතට ගෙනාවෝය, එහෙත් සියලු සුළු කාරණා ඔව්හුම විනිශ්චයකළෝය.

නික්මයාම 18:13-26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය