නික්මයාම 14:21-29
නික්මයාම 14:21-29 SROV
මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේ ද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය. මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අශ්වයෝද ඔහුගේ රථද ඔහුගේ අසරුවෝද ලුහුබඳවා ඔවුන් පස්සේ මුහුද මැදට ගියෝය. තවද ස්වාමීන්වහන්සේ උදය යාමෙහි ගිනි සහ වලා ටැඹ මැදින් මිසර සේනාව දෙස බලා මිසර සේනාව වියවුල්කළසේක. උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ජලය මිසරවරුන් පිටද ඔවුන්ගේ රථ සහ අසරුවන් පිටද හැරී එන පිණිස නුඹේ අත මුහුද කෙරෙහි දිගුකරන්නැයි කීසේක. මෝසෙස් තමාගේ අත මුහුද කෙරෙහි දිගුකෙළේය, පහන්වූ කල මුහුද එහි නියම ස්වභාවයට හැරුණේය; මිසරවරු ඒ ඉදිරියට දිවගියෝය; ස්වාමීන්වහන්සේ මිසරවරුන් මුහුද මැද හෙළාදැමූසේක. ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැද වියළි භූමිය පිට ගියෝය; ජලය දකුණෙන්ද වමෙන්ද ඔවුන්ට තාප්පයක් වූයේය.

