නික්මයාම 12:21-27

නික්මයාම 12:21-27 SROV

එවිට මෝසෙස් ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් කැඳවා: නුඹලාගේ පවුල්වල හැටියට බැටළු වස්සන් තෝරාගෙන පාස්කු මංගල්‍යය පිණිස මරන්න. හිසොප් මිටියක් ගෙන ඒක තැටියේ තිබෙන ලෙයෙහි ගල්වා තැටියෙහි තිබෙන ලෙයින් උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ඉසින්න; නුඹලා අතරෙන් කිසිවෙක් උදය වන තුරු තමන් ගෙයි දොරකඩින් පිට නොයා යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට පහරදෙන පිණිස දේශය මැදින් යනසේක; උන්වහන්සේ උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ලේ දුටු කල්හි දොරකඩ පසුකර යනසේක, නුඹලාට පහරදෙන පිණිස නුඹලාගේ ගෙවලට ඇතුල්වෙන්ට විනාශකයාට ඉඩ නොදෙනසේක. මේ දෙය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාලේටම නියෝගයක් කොට පවත්වන්න. තවද ස්වාමීන්වහන්සේ පොරොන්දුවූ ලෙස නුඹලාට දෙන්නාවූ දේශයට නුඹලා පැමිණි කල්හි මේ මෙහෙය පවත්වන්න. තවද මේ මෙහෙයේ අදහස කිමෙක්දැයි නුඹලාගේ දරුවන් නුඹලාගෙන් අසන කල: ඒක නම් ස්වාමීන්වහන්සේගේ පාස්කුවය, උන්වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහි වූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගලවාගත්සේකැයි කියයුතුයයි කීයේය. එවිට සෙනඟ හිස් නමා වැන්දෝය.