එස්තර් 9:23-32

එස්තර් 9:23-32 SROV

යුදෙව්වරු වනාහි තමුන් පටන්ගත් ලෙසත් මොර්දෙකයි තමුන්ට ලියා ඇරිය ලෙසත් කරන්ට එකඟවුණෝය; මක්නිසාද යුදෙව්වරුන්ගේ එදිරිකාරයාවූ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් යුදෙව්වරුන් නැතිකිරීමට ඔවුන්ට විරුද්ධව යෝජනාකර ඔවුන් විනාශකරන්ට පූර් එනම් පසඇට දැමුවේය; නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය. එබැවින් පූර් යන නාමයේ හැටියට ඒ දවස්වලට පූරීම් යන නම තැබුවෝය. එසේ යුදෙව්වරු ඒ පත්‍රයේ සියලු වචනද ඒ ගැන තමුන් දුටු දේද තමුන්ට සිද්ධවුණු දේද නිසා, ඒ දවස් දෙක ගැන ලියූ ප්‍රකාරයටත් ඒවායේ නියම කාලයේ ප්‍රකාරයටත් ඒවා අවුරුද්දෙන් අවුරුද්ද නොවරදවා පවත්වන ලෙසද, පරම්පරාවෙන් පරම්පරාවට එක එක පවුල විසිනුත් එක එක රටෙත් එක එක නුවරත් ඒ දවස් සිහිකර පවත්වන ලෙසද, පූරීම් දවස් යුදෙව්වරුන් අතරෙන් පහවෙන්ටවත් ඒවා සිහිකිරීම තමුන්ගේ වංශයෙන් අත්හිටින්ටවත් නොදෙන ලෙසද නියමකර, තමුන්ද තමුන්ගේ වංශයද තමුන්ට එකතුවෙන සියල්ලන්ද වෙනුවට පිළිගත්තෝය. එවිට අබිහයිල්ගේ දුවවූ එස්තර් බිසවද යුදෙව්වාවූ මොර්දෙකයිද ඒ පූරීම් පත්‍රය ස්ථිරකරන්ට ඉතා බලවත් ලෙස මේ දෙවෙනි ලියුම ලියා ඇරියෝය. එසේ අහෂ්වේරොෂ්ගේ රාජ්‍යයේ රටවල් එකසිය විසිහතේ සිටිය සියලු යුදෙව්වරුන්ට සමාදාන සහිතවූ සත්‍යවූ වචන ඇති ලියුම් ලියා ඇර, නිරාහාරවීමෙත් ඔවුන්ගේ වැලපීමෙත් කාරණා ගැන යුදෙව්වාවූ මොර්දෙකයිද එස්තර් බිසවද ඔවුන්ට නියමකළ හැටියටත්, ඔවුන්ම තමුන්ටද තමුන්ගේ වංශයටද නියමකරගත් හැටියටත්, ඒ පූරීම් දවස් ඒවායේ නියම කාලයට ස්ථිරකළෝය. එස්තර්ගේ ආඥාවෙන් ඒ පූරීම් සම්බන්ධ කාරණා ස්ථිරවිය; එය පොතෙහිද ලියා තබනලද්දේය.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 9:23-32 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය