එස්තර් 9:13-19

එස්තර් 9:13-19 SROV

එවිට එස්තර් කථාකොට: රජ්ජුරුවන් ප්‍රසන්න නම් ෂූෂන්හි සිටින යුදෙව්වරුන්ට අද දවසේ නියෝගයේ හැටියට හෙටත් කරන්ට අවසර ලැබේවා, හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද එල්ලුම්ගහේ එල්ලා තබත්වයි කීවාය. රජ එසේ කරන්ට අණකෙළේය. එවිට ෂූෂන්හි නියෝගයක් දෙන්ට යෙදුණේය; ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා එල්ලා තැබුවෝය. ෂූෂන්හි සිටි යුදෙව්වරුද අදාර් මස දහහතරවෙනි දවසෙත් රැස්වී ෂූෂන්හි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය. රජුගේ රටවල සිටි අනික් යුදෙව්වරුද රැස්ව, තමුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා විරුද්ධව සිට, තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වී, තමුන්ගේ වෛරකාරයන්ගෙන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට අත නොපෙවුවෝය. අදාර් මස දහතුන්වෙනිදා ඔව්හු එසේ කර දහහතරවෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය. ෂූෂන්හි සිටිය යුදෙව්වරු වනාහි ඒ මාසයේ දහතුන්වෙනිදාත් දහහතරවෙනිදාත් රැස්වී, පහළොස්වෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය. ඒ නිසා පවුරු නැති නුවරවල වාසයකරන පිටිසර යුදෙව්වරු අදාර් මාසයේ දහහතරවෙනි දවස ප්‍රීතිමත්වූ, සන්තෝෂ සහිතවූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ මංගල්‍ය දවසක් කරගනිති.

මෙයට අදාළ වීඩියෝ