ද්වීතීය කථාව 11:8-24
ද්වීතීය කථාව 11:8-24 SROV
එබැවින් නුඹලා ශක්තිමත්ව සිට නුඹලා විසින් හිමිකර ගැනීමට එතරව යන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිසද, නුඹලාගේ පියවරුන්ටත් ඔවුන්ගේ වංශයටත් දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළාවූ කිරි හා මීපැණි ගලායන්නාවූ දේශය මතුපිට නුඹලාගේ දවස් වැඩිකර ගන්නා පිණිසද මා විසින් අද නුඹලාට අණකරන මුළු ආඥාව පවත්වන්න. මක්නිසාද නුඹලා හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය නුඹලා පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑ කරන්නාවූ මිසර දේශය මෙන් නොවේ. නුමුත් නුඹලා විසින් හිමිකරගැනීමට එතරව යන දේශය හෙල්වලින් හා මිටියාවත්වලින් යුක්තවූ, අහසෙන් වෑස්සෙන වතුර උරාගන්නාවූ දේශයක්ය; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බලා සලකන්නාවූ දේශයක්ය. අවුරුද්ද පටන්ගැන්මේ සිට අවුරුද්ද අන්තිමය දක්වා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් නිරන්තරයෙන් එය කෙරෙහි යොමුවී තිබේ. ඉදින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් උන්වහන්සේට සේවයකරන ලෙස, මා අද නුඹලාට අණකරන මාගේ අණට නුඹලා ඇත්තටම කීකරුවුණොත්, නුඹේ ධාන්‍ය හා මුද්‍රික ඵලද තෙල්ද රැස්කරගන්නා පිණිස මම නිසි කාලයට නුඹලාගේ දේශයෙහි වර්ෂාව එනම් ප්‍රථම වර්ෂාවද අන්තිම වර්ෂාවද දෙන්නෙමි. නුඹ කා තෘප්තියට පැමිණෙන පිණිස සිව්පාවුන්ට නුඹේ පිට්ටනිවල තණකොළ හටගන්වා දෙන්නෙමි. නුඹලාගේ සිත් රැවටී, නුඹලා අහක්ව ගොස්, අන් දෙවිවරුන්ට සේවයකරමින් නමස්කාර නොකරන හැටියට බලාගන්න. එසේ කළොත් ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළ, වැසි නොවසින ලෙසද භූමියේ අස්වැන්න හටනොගන්නා ලෙසද උන්වහන්සේ අහස පියවා ඇත; නුඹලාද ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන්නාවූ ඒ හොඳ දේශය මතුපිටින් ඉක්මනින් නැතිවී යනවා ඇත. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයෙහි නුඹලාගේ දවස්ද නුඹලාගේ දරුවන්ගේ දවස්ද පොළොවට ඉහළින්වූ අහස පවත්නා දවස් මෙන් වැඩිවෙන පිණිස, නුඹලා මාගේ මේ වචන නුඹලාගේ සිතෙහිද ආත්මයෙහිද තබාගෙන, ඒවා නුඹලාගේ අත්වල ලකුණක් පිණිස බැඳ, නුඹලාගේ ඇස් අතරේ නළල් පටි පිණිසද බැඳ ගන්න. නුඹ ගෙදර ඉන්න විටත් මාර්ගයෙහි යන විටත් නුඹ නිදාගන්න විටත් නැගිටින විටත් ඒවා ගැන කථාකරමින්, ඒවා නුඹලාගේ දරුවන්ට උගන්වන්න. ඒවා නුඹේ ගෙයි උළුවහුද නුඹේ දොරවල්ද පිට ලියන්න. මක්නිසාද මා නුඹලාට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන ලෙස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට ඇලුම්ව සිටින ලෙස නුඹලා ඇත්තටම එය පවත්වනවා නම්, ස්වාමීන්වහන්සේ මේ සියලු ජාතීන් නුඹලා ඉදිරියෙන් පන්නාදමනවා ඇත, නුඹලාද නුඹලාට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් අත්පත් කරගන්නවා ඇත. නුඹලාගේ පා තබන සියලු තැන් නුඹලාට වන්නේය. නුඹලාගේ සීමාව කාන්තාරය හා ලෙබනොන් සිට ප්‍රාත් ගඟ පටන් පිටුපස මුහුද දක්වාම වන්නේය.

