දානියෙල් 5:5-12

දානියෙල් 5:5-12 SROV

එකෙණෙහිම මනුෂ්‍ය අතක ඇඟිලි පෙනී, පහන්රුක ඉදිරිපිට රාජ මාළිගාවේ භිත්තියේ බදාම පිට ලිවීය. රජතෙමේ ලියන අතේ කොටස දුටුවේය. එකල රජුගේ මුහුණේ පාට වෙනස්විය, ඔහු තමාගේ සිතිවිලිවලින් කැලඹුණේය; ඔහුගේ කටිසන්ධි බුරුල්වී, ඔහුගේ දණහිස් එකිනෙකට වැදුණේය. එවිට රජ අනවිනකාරයන්ද කල්දිවරුන්ද පේනකියන්නන්ද කැඳවාගෙන එන ලෙස මොරගසාකීය. රජතෙමේ බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට කථාකොට: මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වාදෙන කවුරුනුමුත්, රත්නිල් වස්ත්‍රයක් හඳවනු ලැබ, බෙල්ලේ රන්මාලයක්ද දමනු ලැබ, රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාවන්නේයයි කීවේය. එකල රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ ඇතුල්වූහ. නුමුත් ඒ ලියවිල්ල කියවන්ටවත් එහි අර්ථය රජුට දන්වන්ටවත් ඔවුන්ට පුළුවන් නොවීය. එකල බේල්ෂශර් රජ ඉතා කැලඹී, ඔහුගේ මුහුණේ පාට වෙනස්වුණේය, ඔහුගේ උත්තමයොත් වියවුල්වූහ. රජුගේද ඔහුගේ උත්තමයන්ගේද වචන නිසා බිසව භෝජනශාලාවට ඇතුල්වී කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා; ඔබගේ සිතිවිලි ඔබ නොකලඹාවා, ඔබගේ මුහුණේ පාටද වෙනස් නොවේවා. ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇති මනුෂ්‍යයෙක් ඔබගේ රාජ්‍යයෙහි සිටියි; ඔබගේ පියාණන්ගේ දවස්වලදී ආලෝකයද නුවණද දෙවිවරුන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවද ඔහු තුළ සම්බවිය. ඔබගේ පියවූ නෙබුකද්නෙශර් රජ–ඔබගේ පිය රජ්ජුරුවෝ–ඔහු මන්ත්‍රකාරයන්ටද අනවිනකාරයන්ටද කල්දිවරුන්ටද පේනකියන්නන්ටද ප්‍රධානියා කළේය; මක්නිසාද උතුම් ආත්මයක්ද දැනගැන්මද ස්වප්න තේරුම්කරදීමෙත් තේරවිලි විසදීමෙත් ගැටපද පහදාදීමෙත් ඥානයද රජු විසින් බේල්ටෙෂශර්යයි නම් තැබූ ඒ දානියෙල් තුළ සම්බවිය. දැන් දානියෙල් කැඳෙවුවොත් ඔහු අර්ථය පෙන්වාදෙනවා ඇතැයි කීවාය.