දානියෙල් 5:12-16

දානියෙල් 5:12-16 SROV

මක්නිසාද උතුම් ආත්මයක්ද දැනගැන්මද ස්වප්න තේරුම්කරදීමෙත් තේරවිලි විසදීමෙත් ගැටපද පහදාදීමෙත් ඥානයද රජු විසින් බේල්ටෙෂශර්යයි නම් තැබූ ඒ දානියෙල් තුළ සම්බවිය. දැන් දානියෙල් කැඳෙවුවොත් ඔහු අර්ථය පෙන්වාදෙනවා ඇතැයි කීවාය. එකල දානියෙල් රජු ඉදිරියට පමුණුවනලද්දේය. රජතමේ දානියෙල්ට කථාකොට: මාගේ පිය රජ්ජුරුවන් යූදාරටින් අල්ලාගන ආ යුදෙව්වරුන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් නුඹද? දෙවිවරුන්ගේ ආත්මය නුඹ තුළ තිබෙන බව ද ආලෝකයත් නුවණත් උතුම් ප්‍රඥාවත් නුඹ තුළ තිබෙන බවද නුඹ ගැන ඇසීමි. මේ ලියවිල්ල කියවා එහි අර්ථය මට දන්වන පිණිස ශාස්ත්‍රවන්තයෝද අනවිනකාරයෝද මා ඉදිරියට පමුණුවනු ලැබුවෝය. නුමුත් කාරණාවේ අර්ථය පෙන්වන්ට ඔවුන්ට බැරිවිය. නුඹට නම් අර්ථ කියාදෙන්ටත් ගැටපද පහදාදෙන්ටත් පුළුවන් බව නුඹ ගැන ඇසුවෙමි. ඉතින් ලියවිල්ල කියවා, එහි අර්ථය මට දන්වන්ට නුඹට පුළුවන්වුණොත්, නුඹට රත් නිල් වස්ත්‍රයක් හඳවා, බෙල්ලේ රන් මාලයක් දමා, නුඹ රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයා කරනු ලබන්නෙහියයි කීවේය.