දානියෙල් 5:12-16

දානියෙල් 5:12-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

රජු විසින් බේල්ටෙෂසර් නමින් හැඳින් වූ මේ මනුෂ්‍යයා, දානියෙල් තියුණු මනසක්, දැනගැන්ම හා වැටහීම ඇත්තකු පමණක් නො ව, සිහින අරුත් පහදා දීමේ ද ප්‍රහේලිකාව බේරුම් කිරීමේ ද අසීරු ගැටලු විසඳීමේ ද සමතෙක්. දානියෙල් කැඳවන්න; මේ ලියා ඇති අකුරුවල අර්ථය ඔහු ඔබට කියා දේවි” යි කීවා ය. එබැවින් රජු ඉදිරියට දානියෙල් කැඳවාගෙන එන ලදී. රජ ඔහු අමතමින්, “මගේ පිය රජු යූදා රටින් ගෙන ආ වහලුන්ගෙන් කෙනකු වන දානියෙල් ඔබ ද? ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් ඔබ තුළ ඇති වගත්, ඔබ තීක්ෂණ බුද්ධියෙන්, දැන උගත්කමින් හා විශිෂ්ට ප්‍රඥාවෙන් යුතු වගත් මට අසන්නට ලැබුණා. මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට පවසන්නට පඬිවරුන් ද මන්තරකරුවන් ද මා ඉදිරියට පැමිණවූවත් එය පැහැදිලි කිරීමට ඔවුනට බැරි වුණා. එහෙත් ඔබ අර්ථ විවරණයටත්, අසීරු ගැටලු විසඳීමටත් සමත් වග මට අසන්නට ලැබුණා. මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට කියා දෙන්නටත් ඔබට හැකි නම්, ඔබට රාජකීය දම් පැහැ ඇඳුම් හඳවා, රන් දමක් ගෙල පලඳා රාජ්‍යයේ තුන් වන ශ්‍රේෂ්ඨ පාලකයා බවට ඔබ පත් කෙරෙනු ඇතැ” යි කීවේ ය.

දානියෙල් 5:12-16 Sinhala Revised Old Version (SROV)

මක්නිසාද උතුම් ආත්මයක්ද දැනගැන්මද ස්වප්න තේරුම්කරදීමෙත් තේරවිලි විසදීමෙත් ගැටපද පහදාදීමෙත් ඥානයද රජු විසින් බේල්ටෙෂශර්යයි නම් තැබූ ඒ දානියෙල් තුළ සම්බවිය. දැන් දානියෙල් කැඳෙවුවොත් ඔහු අර්ථය පෙන්වාදෙනවා ඇතැයි කීවාය. එකල දානියෙල් රජු ඉදිරියට පමුණුවනලද්දේය. රජතමේ දානියෙල්ට කථාකොට: මාගේ පිය රජ්ජුරුවන් යූදාරටින් අල්ලාගන ආ යුදෙව්වරුන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් නුඹද? දෙවිවරුන්ගේ ආත්මය නුඹ තුළ තිබෙන බව ද ආලෝකයත් නුවණත් උතුම් ප්‍රඥාවත් නුඹ තුළ තිබෙන බවද නුඹ ගැන ඇසීමි. මේ ලියවිල්ල කියවා එහි අර්ථය මට දන්වන පිණිස ශාස්ත්‍රවන්තයෝද අනවිනකාරයෝද මා ඉදිරියට පමුණුවනු ලැබුවෝය. නුමුත් කාරණාවේ අර්ථය පෙන්වන්ට ඔවුන්ට බැරිවිය. නුඹට නම් අර්ථ කියාදෙන්ටත් ගැටපද පහදාදෙන්ටත් පුළුවන් බව නුඹ ගැන ඇසුවෙමි. ඉතින් ලියවිල්ල කියවා, එහි අර්ථය මට දන්වන්ට නුඹට පුළුවන්වුණොත්, නුඹට රත් නිල් වස්ත්‍රයක් හඳවා, බෙල්ලේ රන් මාලයක් දමා, නුඹ රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයා කරනු ලබන්නෙහියයි කීවේය.

දානියෙල් 5:12-16 Sinhala New Revised Version (NRSV)

රජු විසින් බෙල්ටෙෂෙසර් යන නම තබන ලද ඒ දානියෙල් උසස් කුශලතා ඇති, ස්වප්න තේරුම් කර දීමේත්, තේරවිලි විසඳීමේත්, ගැටපද පහදා දීමේත් ඥානය ඇති කෙනෙකු විය. දැන් ඔබ මේ දානියෙල් කැඳෙව්වොත්, ඔහු ඔය ලියවිල්ලේ අර්ථය පහදා දෙනු ඇතැ”යි කීවා ය. එකල දානියෙල් තෙමේ රජු ඉදිරියට ගෙන්වන ලද්දේ ය. රජ තෙමේ දානියෙල් අමතා, “මාගේ පිය රජ්ජුරුවන් ජුදා රටින් අල්ලාගෙන ආ ජුදෙව්වන්ගෙන් එක් කෙනෙකු වන දානියෙල් ඔබ ද? දේවාත්මානුභාවය ඔබ තුළ තිබෙන බව ද පැහැදිලි කල්පනාවත්, නුවණත්, උතුම් ප්‍රඥාවත් ඔබ තුළ තිබෙන බව ද මා ඔබ ගැන අසා ඇත. මේ ලියවිල්ල කියවා එහි අර්ථය දන්වන පිණිස ශාස්ත්‍රවන්තයන් ද අනවිනකාරයන් ද මා ඉදිරියට ගෙනෙනු ලැබූ නමුත්, එහි අර්ථය පහදා දෙන්න ඔවුන්ට නොහැකි විය. ඔබට අර්ථකථනය කිරීමටත් ගැටපද විවරණය කිරීමටත් හැකි බව මම අසා ඇත්තෙමි. මෙම ලියවිල්ල කියවා එහි අර්ථය පහදා දීමට හැකි නම්, ඔබට රත්නිල් වස්ත්‍ර හඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් මම ඔබ පත් කරමි”යි කී ය.