ක්‍රියා 8:6-13
ක්‍රියා 8:6-13 SROV
සමූහයෝ ඇහුම්කන්දී, පිලිප් කළ ආශ්චර්යයන් දුටු කල, ඔහු කී කරුණු එක්සිත්ව සැලකුවෝය. කුමක්හෙයින්ද අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහත් හඬින් මොරගසමින් අහක්වගියෝය. බොහෝ අංශභාග රෝගීහුද කොරුද සුවකරනු ලැබුවෝය. ඒ නුවර මහත් ප්‍රීතියක් වූයේය. නුමුත් ඒ නුවර ප්‍රථමයෙන් මායා අභ්‍යාසකළාවූ, තමා උත්තමයෙකැයි ප්‍රකාශකරමින් සමාරිය වැසියන් විස්මිත කළාවූ සීමොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය. මේ තෙමේ ශ්‍රේෂ්ඨයයි කියන දෙවියන්ගේ බලයයයි කියමින්, කුඩා අය පටන් ලොකු අය දක්වා හැමදෙනා ඔහුට ඇහුම්කන්දුන්නෝය. ඔවුන් විසින් ඔහු එසේ සලකනලද්දේ ඔහුගේ මායාවලින් බොහෝ කලක පටන් ඔවුන් විස්මිතකළ නිසාය. නුමුත් ඔව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍යයද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයද ගැන ශුභාරංචි දේශනාකළාවූ පිලිප් විශ්වාසකොට, පුරුෂයෝද ස්ත්‍රීහුද බව්තීස්මකරනු ලැබුවෝය. එකල සීමොන්ද විශ්වාසකොට, බව්තීස්ම කරනු ලැබ, පිලිප් සමඟ නිතර සිට, ඔහු කළ හාස්කම්ද මහත් ආශ්චර්යයන්ද දැක විස්මිතවූයේය.

