ක්‍රියා 8:14-24

ක්‍රියා 8:14-24 SROV

සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යෙරුසලමේ සිටියාවූ ප්‍රේරිතයෝ අසා, පේතෘස් සහ යොහන් ඔවුන් ළඟට යැවුවෝය. ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤාකළෝය. මක්නිසාද ඔවුන් ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවා මිස, ශුද්ධාත්මය ඒ වන තුරු ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණී තිබුණේ නැත. ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණේය. සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක, ඔවුන් වෙතට මුදල් ගෙනැවිත්: යමෙකු පිට මම අත් තබම්ද, ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැයි කීවේය. නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට නුඹ සිතූ බැවින් නුඹේ මිල නුඹ සමඟ විනාශවේවා. මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් නුඹට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ සිත හරි නැත. ඒ නිසා නුඹේ සිතේ කල්පනාව නුඹට කමාකරනු ලැබේදෝ කියා බලන පිණිස, නුඹේ මේ දුෂ්ටකම ගැන පශ්චාත්තාපව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද නුඹ තික්තකමේ පිතේද අයුතුකම නමැති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේය. සීමොන් උත්තරදෙමින්: නුඹලා කීවාවූ දෙයින් කිසිවක් මා කරා නොපැමිණෙන පිණිස, මා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි කීවේය.