ක්‍රියා 6:1-8

ක්‍රියා 6:1-8 SROV

ඒ දවස්වලදී ගෝලයන්ගේ ගණන වැඩිවෙන කල, දවස්පතා කෙරුණු උපස්ථානයේදී හෙල්ලීන යුදෙව්වරුන්ගේ වැන්දඹුවන් නොසලකනු ලැබූ නිසා හෙබ්‍රෙව්වරුන්ට විරුද්ධව කෙඳිරීමක් විය. එවිට දොළොස්දෙනා ගෝල සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: අප විසින් දෙවියන්වහන්සේගේ වචනය හැරදමා මේසවල සේවයකිරීම සුදුසු නැත. එහෙයින්, සහෝදරයෙනි, මේ වැඩට අප විසින් පත්කරන පිණිස යහපත්යයි ප්‍රසිද්ධවූ, ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන් සත්දෙනෙකු නුඹලා අතරෙන් සොයාගන්න. අපි වනාහි යාච්ඤාවෙහිද වචනයේ මෙහෙකිරීමෙහිද ස්ථිරලෙස යෙදී සිටින්නෙමුයයි කීවෝය. ඒ කීම මුළු සමූහයාට ප්‍රියවිය. එවිට ඔව්හු ඇදහිල්ලෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක් වන ස්තේපන්ද පිලිප්ද ප්‍රොකොරස්ද නිකනොර්ද තීමොන්ද පර්මෙනස්ද යුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලස්ද තෝරාගෙන, ඔවුන් ප්‍රේරිතයන් ඉදිරියෙහි සිටෙවුවෝය. ඔව්හු යාච්ඤාකොට ඔවුන් පිට අත් තැබුවෝය. තවද දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය. ස්තේපන් අනුග්‍රහයෙන්ද බලයෙන්ද පූර්ණව, පුදුමද හාස්කම්ද සෙනඟ අතරේ සිදුකෙළේය.