2 සාමුවෙල් 10:6-19

2 සාමුවෙල් 10:6-19 SROV

තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය. දාවිත් ඒ අසා යෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවුවේය. අම්මොන් පුත්‍රයෝ පිටතට ඇවිත් දොරටුව ළඟ යුද්ධයට පිළිවෙළින් සිටියෝය; ශෝබාහිද රෙහෝබ්හිද ටෝබ්හිද මයකාහිද මනුෂ්‍යයොත් භූමියෙහි වෙනම සිටියෝය. ඉස්සරින්ද පස්සෙන්ද යුද්ධය තමාට විරුද්ධව යොදා තිබෙන බව යෝවාබ් දැක සියලු බලවන්ත ඉශ්‍රායෙල්වරුන්ගෙන් පංගුවක් තෝරාගෙන සිරියවරුන්ට විරුද්ධව සිටුවා, අනික් සෙනඟ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සිටුවන පිණිස ඔවුන් තමාගේ සහෝදරවූ අබිෂයි අතට භාරදී කථාකොට; සිරියවරුන් මට වඩා බලවත්වුණොත් නුඹ මට උපකාරකරන්න. අම්මොන් පුත්‍රයන් නුඹට වඩා බලවත්වුණොත් මම ඇවිත් නුඹට උපකාරකරන්නෙමි. ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව සිටිමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීය. මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්ධව සටනට ළංවූහ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය. සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයෝ දැක ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් අම්මොන් පුත්‍රයන් වෙතින් යෙරුසලමට හැරී ආයේය. සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක එකට රැස්වූවෝය. හදර්එසෙර්ද ප්‍රාත් ගංගාවට එගොඩින් සිටිය සිරියවරුන් ගෙන්වාගත්තේය. ඔව්හුද ඔවුන්ට පෙරටුව හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝබාද හේලාම්ට ආවෝය. එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩවී හේලාම්ට ගියේය. සිරියවරුද දාවිත්ට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන්කළවිට ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත්සියයක මිනිසුන්ද අසරුවන් සතළිස් දහසක්ද මරා ඔවුන්ගේ සේනාපතිවූ ෂෝබාටත් පහරදුන්නේය, ඔහුද එහිදී මළේය. එවිට හදර්එසෙර්ට සේවකයෝවූ සියලු රජවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන්ට සේවයකළෝය. මෙසේ සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට භයවූහ.

මෙයට අදාළ වීඩියෝ