2 1 වංශාවලිය 1:6-12

2 1 වංශාවලිය 1:6-12 SROV

එහි සාලමොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට තිබෙන පිත්තල පූජාසනය පිට දවන පූජාවල් දහසක් ඔප්පු කෙළේය. එදා රාත්‍රියේ දෙවියන්වහන්සේ සාලමොන්ට පෙනී: මා විසින් නුඹට දිය යුතු කුමක්ද කියා ඉල්ලන්නැයි ඔහුට කීසේක. සාලමොන්ද: ඔබ මාගේ පියවූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකොට පත්කළසේක. දැනුදු දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත්ට දුන් පොරොන්දුව ස්ථිරවේවා. මක්නිසාද ගණනින් පොළොවේ ධූලි මෙන් වූ සෙනඟක් කෙරෙහි ඔබ මා රජකොට පත්කළසේක. එබැවින් මා මේ සෙනඟ ඉදිරියෙහි යන එන පිණිස මට ප්‍රඥාවත් දැනගැන්මත් දුන මැනව. මක්නිසාද ඔබගේ මේ මහත්වූ සෙනඟ විනිශ්චයකරන්ට කාට පුළුවන්දැයි දෙවියන්වහන්සේට කීවේය. දෙවියන්වහන්සේ සාලමොන්ට කථාකොට: මේක නුඹේ සිතේ තිබී, නුඹ වස්තුවවත් සම්පත්වත් ගෞරවයවත් නුඹට වෛරවෙන්නන්ගේ ජීවිතවත් ඉල්ලන්නේ නැතුව, දීර්ඝායුසද නොඉල්ලා, නුඹේ පාලනයට මා විසින් භාරදුන් මාගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ප්‍රඥාවද දැනගැන්මද ඉල්ලූ නිසා, ප්‍රඥාවත් දැනගැන්මත් නුඹට දුනිමි; තවද නුඹට පළමුවෙන් සිටි කොයි යම් රජකෙනෙකුටවත් නොතිබුණාවූ, නුඹට පසුව කොයි රජ කෙනෙකුටවත් නොලැබෙන තරම් වස්තුවත් සම්පතත් ගෞරවයත් නුඹට දෙන්නෙමියි කීසේක.