1 සාමුවෙල් 8:1-9
1 සාමුවෙල් 8:1-9 SROV
සාමුවෙල් මහලුවූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඉශ්‍රායෙල්වරුන්ට විනිශ්චයකාරයන් කොට පත්කෙළේය. ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම යෝවෙල්ය; ඔහුගේ දෙවෙනියාගේ නම අබියාය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූවෝය. නුමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ මාර්ගවල නොහැසිර, අයුතු ලාභය පිණිස ඉවතට හැරී, අල්ලස් ගෙන විනිශ්චය පෙරළුවෝය. එවිට ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලෝ රැස්වී රාමාහි සිටි සාමුවෙල් ළඟට ඇවිත් කථාකොට: ඔබ මහලුව සිටිනෙහිය, ඔබගේ පුත්‍රයෝ ඔබගේ මාර්ගවල නොහැසිරෙති. ඉතින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චයකරන පිණිස අපටත් රජෙකු පත්කළ මැනවැයි කීවෝය. එහෙත්: අප විනිශ්චයකරන්ට අපට රජෙකු දුන මැනවැයි කී කීම ගැන සාමුවෙල් අසතුටු විය. තවද සාමුවෙල් ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය. ස්වාමීන්වහන්සේ ද: සෙනඟ නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. මක්නිසාද ඔව්හු නුඹ එපාකළා නොව, මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපාකළෝය. මා විසින් ඔවුන් මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දවස දක්වා මා අත්හැර වෙන දෙවිවරුන්ට සේවයකරමින් ඔවුන් කළාවූ සියලු ක්‍රියාවල හැටියට ඔව්හු නුඹටත් කරති. දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන්දෙන්න. එසේවී නුමුත් ඔවුන් කෙරෙහි රජකම් කරන රජුගේ අන්දම ඔවුන්ට දන්වමින් ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙන්නැයි කීසේක.

