1 සාමුවෙල් 24:6-13

1 සාමුවෙල් 24:6-13 SROV

ඔහු තමාගේ මිනිසුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන් එනම් මාගේ අත දිගුකිරීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වා, මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තායයි කීවේය. මෙසේ සාවුල්ට විරුද්ධව නැගිටින්ට දාවිත් තමාගේ මිනිසුන්ට ඉඩනෑර මේ වචනවලින් ඔවුන් නවත්වා ගත්තේය. සාවුල් ගුහාවෙන් පිටත්ව යන්ට ගියේය. ඉන්පසු දාවිත් නැගිට ගුහාවෙන් පිටතට ගොස්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සැයි කියා සාවුල්ට මොරගැසීය. සාවුල් පස්සට හැරී බැලූ කල දාවිත් මුහුණින් බිමට නැමී වැඳ, සාවුල්ට කථාකොට: දාවිත් ඔබට අනතුරු කරන්ට සොයන්නේයයි කියන මනුෂ්‍යයන්ගේ වචනවලට ඔබ ඇහුම්කන්දෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අද ගුහාවේදී ඔබ මා අතට පාවාදුන් බව ඔබගේ ඇස් වලටම මේ දවසේදී පෙනුණේය. සමහරු ඔබ මරන්ටය කියා මට කීවෝය. නුමුත් මම ඔබට කරුණාකෙළෙමි; මක්නිසාද–මාගේ ස්වාමියා ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධව මාගේ අත දිගුනොකරමියි කීමි. තවද මාගේ පියාණෙනි, බැලුව මැනවි, ඔබගේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනවි. මා ඔබ නොමරා ඔබගේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක්වත් අපරාධයක්වත් නැති බවද මා ඔබට විරුද්ධව පව් නොකළ බවද බලා දැනගතමැනවි, එහෙත් මාගේ ප්‍රාණය නසන්ට ඔබ මා පස්සේ එළවාගන එන්නෙහිය. ස්වාමීන්වහන්සේ මා සහ ඔබ අතරේ විනිශ්චයකොට මා නිසා ඔබගෙන් පළිගන්නාසේක්වා. මාගේ අත නම් ඔබ පිටට නොපැමිණෙන්නේය. පුරාතනයන්ගේ උපදේශ කීම ලෙස: දුෂ්ටයාගෙන් දුෂ්ටකම නික්මෙන්නේය. නුමුත් මාගේ අත ඔබ පිටට නොපැමිණෙන්නේය.

මෙයට අදාළ වීඩියෝ

1 සාමුවෙල් 24:6-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය