1 සාමුවෙල් 18:6-16

1 සාමුවෙල් 18:6-16 SROV

තවද දාවිත් පිලිස්තියයා මරා හැරී එන මාර්ගයේදී කාන්තාවෝ සියලු ඉශ්‍රායෙල් නුවරවලින් නික්ම ගායනාකරමින්ද නටමින්ද රබානුත් ප්‍රීති හඬත් අත්තාලමුත් ඇතුව සාවුල් රජ්ජුරුවන්ගේ පෙරමගට ආවෝය. කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය. සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්‍රසන්නව කථාකොට: ඔව්හු දාවිත්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්ට තිබෙන්නේ කුමක්දැයි කීවේය. එදා පටන් සාවුල් දාවිත් දෙස ඇස් හෙළා සිටියේය. තවද පසුවදා දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් සාවුල්ට ආවේශවිය, ඔහු ගේ ඇතුළේදී ධර්මවාග් ලීලාවෙන් දෙඩෙව්වේය. එවිට දාවිත් වෙන දවස්වල මෙන් අතින් වීණාව ගෑවේය. සාවුල්ගේ අතේ හෙල්ලය තිබුණේය. මම බිත්තියටම වදින්ට දාවිත්ට අනිමියි සිතා ඔහු හෙල්ලය වීසිකෙළේය. දාවිත් ඔහු ඉදිරියෙන් දෙවරක් ගැළවී ගියේය. ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ සිටි නිසාත් සාවුල්ගෙන් පහව ගිය නිසාත් සාවුල් ඔහුට භයවුණේය. ඒ නිසා සාවුල් තමා වෙතින් ඔහු අහක්කොට සහස්‍රාධිපතියෙකු කෙළේය; මෙසේ ඔහු සෙනඟට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය. දාවිත් තමාගේ සියලු මාර්ගවලදී නුවණින් හැසුරුණේය; ස්වාමීන්වහන්සේ ද ඔහු සමඟ සිටිසේක. ඔහු බොහෝ නුවණින් හැසිරෙන බව සාවුල් දැක ඔහුට භයවිය. නුමුත් සියලු ඉශ්‍රායෙල්වරුද යූදාවරුද දාවිත්ට ප්‍රේමකළෝය; මක්නිසාද ඔහු ඔවුන්ට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.

1 සාමුවෙල් 18:6-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය