1 සාමුවෙල් 17:20-27

1 සාමුවෙල් 17:20-27 SROV

දාවිත් අලුයම නැගිට, බැටළුපාලයෙකුට බැටළුවන් භාරදී, යෙස්සේ තමාට අණකළ ලෙස අරගෙන ගොස්, ගැල් තිබුණු ස්ථානයට පැමුණුණේය. එවිට සේනාව යුද්ධ-භූමියට යමින් ඔල්වර හඬ පැවැත්තුවෝය. ඉශ්‍රායෙල්වරුද පිලිස්තිවරුද සේනාවට විරුද්ධව සේනාවක් වශයෙන් යුද්ධ පිළිවෙළින් සිටියාහ. දාවිත් තමා ගෙනා දේවල් බඩු ප්‍රවේසම්කරන්නා අතට භාරදී, සේනාව ළඟට දිවගොස් තමාගේ සහෝදරයන්ට ආචාරකෙළේය. ඔහු ඔවුන් සමඟ කථාකරන කල, බලව, ගාත්හි ගොලියත් නම් පිලිස්තිය මල්ලවයා පිලිස්තිවරුන්ගේ සමුදාවලින් පිටත්ව අවුත් ඒ වචනවල හැටියට කථාකෙළේය. දාවිත්ට ඒවා ඇසුණේය. සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ඒ මනුෂ්‍යයා දුටු විට බොහෝසෙයින් භයවී ඔහු ඉදිරියෙන් දිවුවෝය. ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ කථාකොට: ඉස්සරහට එන්නාවූ අර මනුෂ්‍යයා නුඹලා දැක්කහුද? ඉශ්‍රායෙල්වරුන්ට මිගකියන්ටම ඔහු ඇවිත් සිටියි. රජ්ජුරුවෝ ඔහු මරන මනුෂ්‍යයා බොහෝ වස්තුවෙන් පොහොසත්කොට, තමාගේ දුව ඔහුට සරණ පාවාදී, ඉශ්‍රායෙල්හි ඔහුගේ පියාගේ පවුලට නිදහසද දෙන්නාහයි කීවෝය. දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය. සෙනඟ ඒ වචනවල හැටියට ඔහුට කථාකොට: ඔහු මරන තැනැත්තාට මෙසේ කරනු ලැබේයයි කීවෝය.