1 සාමුවෙල් 14:1-15

1 සාමුවෙල් 14:1-15 SROV

එක් දවසක් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අර පැත්තේ සිටින පිලිස්තිවරුන්ගේ මුර සමුදාව ළඟට යමුයයි කීවේය. නුමුත් ඔහු තමාගේ පියාට දැන්නුවේ නැත. සාවුල් ගිබියාහි කෙළවර මිග්‍රොන්හි තිබෙන දෙළුම් ගස යට සිටියේය. ඔහු සමඟ සිටි සෙනඟ හසියයක් පමණ මනුෂ්‍යයෝය. ෂීලෝහි ස්වාමීන්වහන්සේගේ පූජකයාව සිටි ඒලීගේ පුත්‍රවූ පීනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදරවූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා එහි ඒඵොද් සැට්ටයක් ඇඳගන සිටියේය. යොනාතාන් ගිය බව සෙනඟ නොදැන සිටියෝය. පිලිස්තිවරුන්ගේ මුර සමුදාව ළඟට යොනාතාන් යන්ට උත්සාහකළ කඳු පාරවල් අතරේ එක පැත්තක ගිරිකුළක්ද අනික් පැත්තේ ගිරිකුළක්ද තිබුණේය. එකක නම බෝශෙශ්ය, අනිකේ නම සෙනේය. එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිටද අනික් එක දකුණට ගෙබා ඉදිරිපිටද උස්ව තිබුණේය. යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය. ඔහුගේ ආයුධ ගෙනයන්නාද: නුඹේ සිතේ තිබෙන සියල්ල කරන්න. එහි යමු, නුඹේ සිතේ හැටියටම මම නුඹ සමඟ සිටිමියි ඔහුට කීවේය. එවිට යොනාතාන්: අපි මේ මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙමුව. එවිට ඔවුන්–නුඹලා ළඟට අප එන කල් නවතින්නැයි අපට කීවොත් අපි ඔවුන් ළඟට නැගී නොගොස් අපේ ස්ථානයෙහිම සිටිමුව. එහෙත් ඔවුන්–අප ළඟට නැගී එන්නැයි කීවොත්, අපි නැගී යමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබේ. ඒක අපට ලකුණ වන්නේයයි කීය. ඔවුන් දෙදෙනා ගොස් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පෙනුණාහ. පිලිස්තිවරු: අන්න, හෙබ්‍රෙව්වෝ සැඟවී සිටින ගුහාවලින් පිටතට එතියි කීවෝය. මුර සමුදාවේ මිනිස්සු යොනාතාන්ටත් ඔහුගේ ආයුධ ගෙනයන්නාටත් කථාකොට: අප ළඟට නැගී එන්න, අපි නුඹලාට කාරණයක් පෙන්වන්නෙමුයයි කීවෝය. යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: මා පස්සේ එන්න, ස්වාමීන්වහන්සේ ඔවුන් ඉශ්‍රායෙල් අතට පාවාදී තිබේයයි කීවේය. යොනාතාන්ද ඔහු පස්සේ ඔහුගේ ආයුධ ගෙනයන්නාද අත් පා ගගහා නැගී ගියෝය. ඔව්හු යොනාතාන් ඉදිරියෙහි පැරදී වැටුණෝය; ආයුධ ගෙනයන්නාද ඔහු පස්සේ ගොස් ඔවුන් මැරුවේය. යොනාතාන්ද ඔහුගේ ආයුධ ගෙනයන්නාද මුලදී මෙසේ මැරුවේ අක්කරයක බිමේ හීවිටි බාගයක දිග ප්‍රමාණය හරියේ විසි දෙනෙකු පමණය. කඳවුරේද එළිමහනේද මුළු සෙනඟ අතරේද වෙවුලුමක් හටගත්තේය; මුර සමුදාවත් කොල්ලකාරයොත් වෙවුලුවෝය. පොළොව කම්පාවිය; මෙසේ ඉතා මහත් වෙවුලුමක් වූයේය.