1 පේතෘස් 3:13-22

1 පේතෘස් 3:13-22 SROV

තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද? එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා; නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය. නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න. මක්නිසාද නුඹලා යහපත කර දුක්විදීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නපුර කර දුක්විදීමට වඩා ඒක හොඳය. මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත්කරනු ලැබූසේක. එම ආත්මයෙන් උන්වහන්සේ ගොස් හිරගෙයි සිටි ආත්මවලට දේශනාකළසේක. ඒ ආත්ම නෝවාගේ දවස්වලදී, නැව සාදන අතර, දෙවියන්වහන්සේ ඉවසිල්ලෙන් බලා සිටි කාලයෙහි අකීකරුව සිටියෝය. ඒ නැවට ස්වල්ප දෙනෙක් එනම් අටදෙනෙක් [ඇතුල්වී] වතුර කරණකොටගෙන ගැළවුණෝය. ඊට සමානව තිබෙන බව්තීස්මයේ වතුරෙන් එනම් මාංසයේ කිලිටුකම පහකිරීමෙන් නොව, යහපත් හෘදයසාක්ෂියකින් දෙවියන්වහන්සේ සෙවීමෙන් දැන් නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන ගැළවෙන්නහුය. උන්වහන්සේ ස්වර්ගයට ගොස් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටිනසේක; දේවදූතයෝද බලයලත්තෝද පරාක්‍රමධාරීහුද උන්වහන්සේට යටත්කරනලද්දෝ වෙති.

1 පේතෘස් 3:13-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය