1 රාජාවලිය 2

2
දාවිත් රජුගේ අන්තිම අවවාදය සහ මරණය
1දාවිත් නසින කාලය ආසන්න විය. ඔහු තමාගේ පුත්‍රවූ සාලමොන්ට අණකරමින්: 2මම පොළොවේ සියල්ලන් යන ගමන යමි. එබැවින් නුඹ බලවත්ව පුරුෂයෙකු මෙන් සිටින්න; 3නුඹ කරන සියල්ලේදීද නුඹ යන සෑම තැන්වලදීද නුඹට ශුභසිද්ධ වෙන පිණිසත්, ස්වාමීන්වහන්සේ මට කථාකොට–නුඹේ පුත්‍රයෝ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මා ඉදිරියෙහි සැබෑකමින් හැසිරෙන හැටියට තමුන්ගේ මාර්ගය බලාගන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනය පිට හිදීමට නුඹට කෙනෙක් නැතුව නොයන්නේයයි කියා උන්වහන්සේ කීවාවූ තමන්ගේ වචනය උන්වහන්සේ ඉෂ්ටකරන පිණිසත්, 4මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයයන්ද ශික්ෂාද රක්ෂාකරමින් උන්වහන්සේගේ නියමය පවත්වන්න. 5තවද ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් විසින් මට කළ දේ, එසේය, ඉශ්‍රායෙල් සේනාවල අධිපතීන් දෙදෙනාවූ නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ටත් යෙතෙර්ගේ පුත්‍රවූ අමාසාටත් කළ දේ නුඹ දන්නෙහිය; ඔහු ඔවුන් මරා සමාදාන කාලයේදී යුද්ධ ලේ වගුරුවා තමාගේ ඉඟටියෙහි තිබුණු පටිය පිටත් තමාගේ පාදවල තිබුණු වහන් පිටත් යුද්ධ ලේ දමාගත්තේය. 6එබැවින් ඔහුගේ පැසුණු හිසකේ සමාදානයෙන් මිනීවලට බසින්ට නොදී ප්‍රස්තාවට සුදුසු ලෙස නුවණින් ක්‍රියාකරන්න. 7නුමුත් ගිලියදිය බර්සිල්ලයිගේ පුත්‍රයන්ට කරුණාව පෙන්වන්න, ඔව්හු නුඹේ මේසයෙන් කන තැනැත්තන් අතරේ සිටිත්වා. මක්නිසාද නුඹේ සහෝදරවූ අබ්සලොම් ඉදිරියෙන් මා පලාගිය විට ඔව්හු එලෙස මා ළඟට ආවෝය. 8තවද බහුරීම්හි බෙන්යමිය ගේරාගේ පුත්‍රවූ ෂිමෙයි නුඹ ළඟ සිටියි. මා මහනායිම්ට ගිය දවසේදී ඔහු තදබල ලෙස මට දෙස් කීවේය. එහෙත් ඔහු යොර්දාන් ළඟදී මාගේ පෙරමගට ආවේය, මමද–නුඹ කඩුවෙන් නොමරන්නෙමියි ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුළෙමි. 9එහෙත් ඔහුට අච්චුනොකර නාරින්න, මක්නිසාද නුඹ ප්‍රඥාවත් මනුෂ්‍යයෙකු බැවින් ඔහුගේ පැසුණු හිසකේ ලෙයින් යුක්තව මිනීවළට පමුණුවන පිණිස නුඹ විසින් කටයුතු කිමෙක්දැයි නුඹ දන්නෙහියයි කීවේය. 10පසුව දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය. 11දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකම්කළ කාලය සතළිස් අවුරුද්දක්ය. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක්ද යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක්ද රජකම් කෙළේය.
සාලමොන්ගේ රජකම ස්ථිරවීම. සමහර සතුරන් නසාදැමීම
12සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ සිංහාසනය පිට වැඩඋන්නේය; ඔහුගේ රජකමද බොහෝ සෙයින් ස්ථිරවුණේය. 13එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා සාලමොන්ගේ මෑණියන්වූ බැත්-ෂෙබා ළඟට ආයේය. නුඹ එන්නේ සමාදානයෙන්දැයි ඈ ඇසුවාය. සමාදානයෙන්යයි ඔහු කීය. 14තවද ඔහු: නුඹට කාරණයක් කියන්ට මට තිබේයයි කීවේය. කියන්නැයි ඈ කීවාය. 15එවිට ඔහු: රාජ්‍යය මට ලැබෙන්නට තිබුණු බවත් මා රජකම්කරනවා ඇත කියා සියලු ඉශ්‍රායෙල්වරුන් මා ගැන බලා සිටිය බවත් නුඹ දන්නෙහිය. නුමුත් රජකම වෙනස්වී මාගේ සහෝදරයාට ගියේය. මක්නිසාද ඒක ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ලැබුණේය. 16ඉතින් මම එක ඉල්ලීමක් නුඹෙන් ඉල්ලා සිටිමි, ඒක ඉෂ්ට නොකර නොසිටින්නැයි කීවේය. ඈද: කියන්නැයි ඔහුට කීවාය. 17ඔහු: ෂුනම්මිය අබිෂග් මට භාර්යාකොට දෙන ලෙස සාලමොන් රජුට කථාකළ මැනවි, මක්නිසාද ඔහු නුඹේ ඉල්ලීම ඉෂ්ටනොකර නොසිටින්නේයයි කීවේය. 18බැත්-ෂෙබාද: හොඳයි නුඹ උදෙසා රජුට කථාකරන්නෙමියි කීවාය. 19එබැවින් බැත්-ෂෙබා අදොනියා උදෙසා සාලමොන් රජුට කථාකරන්ට ඔහු ළඟට ගියාය. රජ ඈ ඉදිරියෙහි නැගිට, ඈට වැඳ, තමාගේ සිංහාසනය පිට හිඳගත්තේය, රජුගේ මෑණියන්ටත් සිංහාසනයක් තබන්ට යෙදුණේය; ඈ ඔහුගේ දකුණෙන් හිඳගත්තාය. 20එවිට ඈ: මම එක සුළු ඉල්ලීමක් නුඹෙන් ඉල්ලමි; එය නොදී නොසිටිය මැනවිය කීවාය. රජද: මාගේ මෑණියනි, ඉල්ලුමැනවි; මම එය නුඹට නොදී නොසිටින්නෙමියි ඈට කීවේය. 21ඈද: ෂුනම්මිය අබිෂග් නුඹේ සහෝදරවූ අදොනියාට භාර්යාකොට දෙනු ලැබේවයි කීවාය. 22සාලමොන් රජ උත්තරදෙමින්; නුඹ අදොනියා උදෙසා ෂුනම්මිය අබිෂග් ඉල්ලන්නේ මන්ද? රජකමත් ඔහු උදෙසා ඉල්ලුව මැනවි; මක්නිසාද ඔහු මාගේ වැඩිමල් සහෝදරයාය; ඔහු උදෙසාත් පූජකවූ අබියාතර් සහ ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් උදෙසාත් ඉල්ලුව මැනවියි තමාගේ මෑණියන්ට කීවේය. 23එවිට සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරමින්: අදොනියා ඒ වචනය තමාගේම ප්‍රාණයට විරුද්ධව නොකීයේනම් දෙවියන්වහන්සේ මට එසේමත් ඊට වැඩියෙනුත් කරනසේක්වා. 24එබැවින් මා පිහිටෙවුවාවූ, මාගේ පියවූ දාවිත්ගේ සිංහාසනය පිට මා හිඳෙවුවාවූ, තමන්වහන්සේ පොරොන්දුවූ ලෙස මට වංශයක් උපදවා දුන්නාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම සැබවින් අදොනියා අද දවසෙහි මරනු ලබන්නේයයි කීය. 25සාලමොන් රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා යැවීය; ඔහු ඔහුට ගසා මැරුවේය. 26තවද රජ අබියාතර් පූජකයාට කථාකොට: අනාතොත්හි තිබෙන නුඹේම ඉඩමට යන්න; නුඹ මරණයට සුදුස්සෙක්ය. එහෙත් නුඹ මාගේ පියවූ දාවිත් ඉදිරියෙහි ස්වාමිවූ දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඉසුලූ බැවින්ද මාගේ පියාණන් දැරූ සියලු දුක්වලදී නුඹත් දුක් වින්ද බැවින්ද මේ වතාවේ නුඹ නොමරමියි කීවේය. 27මෙසේ ෂීලෝහිදී ඒලීගේ වංශය ගැන ස්වාමීන්වහන්සේ කී වචනය සම්පූර්ණවෙන ලෙස ස්වාමීන්වහන්සේගේ පූජකකමෙන් සාලමොන් අබියාතර් පහකෙළේය. 28ඒ කාරණය යෝවාබ්ට සැලවිය. මක්නිසාද යෝවාබ් අහක්ව අබ්සලොම් අනුව නොගිය නුමුත් අදොනියා අනුව ගියේය. එවිට යෝවාබ් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට පලාගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය. 29යෝවාබ් ස්වාමීන්වහන්සේගේ කූඩාරමට පලාගිය බවද ඔහු පූජාසනය ළඟ සිටින්නේය කියාද සාලමොන් රජුට දන්වනලද්දේය. එවිට සාලමොන්: නුඹ ගොස් ඔහු මරන්නැයි කියා යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා යැවීය. 30බෙනායා ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට ඇතුල්වී: පිටත එන්න කියා රජ කියන්නේයයි ඔහුට කීය. නැත; මම මෙතන නසින්නෙමියි ඔහු කීවේය. එවිට බෙනායා ගොස්: යෝවාබ් මෙසේ කියමින් මට මෙසේ උත්තරදුන්නේයයි රජුට කීවේය. 31රජ ඔහුට කියනුයේ: ඔහු කී ලෙස කොට ඔහු මරා තැන්පත්කරන්න; එසේ කිරීමෙන් යෝවාබ් නිකරුණේ වගුළ ලේ මා කෙරෙන්ද මාගේ පියාගේ වංශයෙන්ද පහකරන්න. 32ඔහු තමාට වඩා ධර්මිෂ්ඨවූ වඩා යහපත්වූ මනුෂ්‍යයන් දෙදෙනෙකු එනම් නේර්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් සේනාවට අධිපතියා වූ අබ්නේර්ටද යෙතෙර්ගේ පුත්‍රවූ යූදා සේනාවට අධිපතියා වූ අමාසාටද ගසා මාගේ පියවූ දාවිත් නොදැනුවත්ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින් ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහුගේම හිස පිටට මෙසේ පමුණුවනවා ඇත. 33ඔවුන්ගේ ලේ යෝවාබ්ගේ හිස පිටද ඔහුගේ වංශයේ හිස පිටද සදාකල්හිම පැමිණෙන්නේය. නුමුත් දාවිත්ටද ඔහුගේ වංශයටද ඔහුගේ පවුලටද ඔහුගේ සිංහාසනයටද සමාදානය ස්වාමීන්වහන්සේගෙන් සදාකල්හිම වන්නේයයි ඔහුට කීවේය. 34එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා ගොස් ඔහුට ගසා ඔහු මැරුවේය; ඔහු කාන්තාරයෙහි තිබුණ තමාගේම ගෙයි තැන්පත්කරනු ලැබීය. 35රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය. 36තවද රජ ෂිමෙයි අඬගස්වා: නුඹ යෙරුසලමෙහි ගෙයක් සාදාගන එහි වාසයකරන්න, එතැනින් කොහාටවත් නොයන්න. 37නුඹ පිටතට ගොස් කිද්‍රොන් ඔයෙන් එගොඩව ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගන්න. නුඹේලේ නුඹේම හිස පිට වන්නේයයි ඔහුට කීවේය. 38ෂිමෙයිද: ඒ කීම යහපත; මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී ලෙසම ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. එසේ ෂිමෙයි යෙරුසලමෙහි බොහෝ දවස් විසුවේය. 39නුමුත් තුන් අවුරුද්දකට පසු ෂිමෙයිගේ වැඩකාරයන් දෙදෙනෙක් පලාගොස් මයකාගේ පුත්‍රවූ ගාත්හි රජවූ ආකීෂ් වෙතට පලාගියෝය. එවිට: නුඹේ වැඩකාරයෝ ගාත්හි සිටිතියි ෂිමෙයිට දන්වන්ට යෙදුණේය. 40ෂිමෙයි නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමාගේ වැඩකාරයන් සොයන්ට ගාත්හි ආකීෂ් වෙතට ගියේය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිට තමාගේ වැඩකාරයන් ගෙනායේය. 41ෂිමෙයි යෙරුසලමෙන් ගාත්ට ගොස් දෙවනු ආ බව සාලමොන්ට දන්වනලද්දේය. 42රජතෙමේ ෂිමෙයිට අඬගස්වා ඔහුට කථාකොට: නුඹ කොහේ නුමුත් පිටතට ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගනින්න කියා මා නුඹට සහතිකකොට නුඹ ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේද? නුඹද–මා ඇසූ කීම යහපතැයි මට කීයෙහිය. 43ඉතින් නුඹ ස්වාමීන්වහන්සේගේ නම කියා කළ දිවුරුමත් මා නුඹට අණකළ ආඥාවත් රක්ෂානොකළේ මක්නිසාදැයි ඔහුට කීවේය. 44තවද රජ ෂිමෙයිට කථාකොට: නුඹ මාගේ පියවූ දාවිත්ට කළාවූ නුඹේ සිතට දැනෙන මුළු දුෂ්ටකම නුඹ දන්නෙහිය. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹේ හිස පිටට නුඹේ දුෂ්ටකම හරවනසේක. 45නුමුත් සාලමොන් රජ ආශීර්වාද ලබන්නේය, දාවිත්ගේ සිංහාසනයද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සදාකාලේටම පිහිටුවනු ලබන්නේයයි කීවේය. 46මෙසේ රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාට අණකෙළේය; ඔහු පිටතට ගොස් ඔහුට ගසා මැරුවේය. මෙසේ රජකම සාලමොන් අතේ ස්ථිර විය.

දැනට තෝරාගෙන ඇත:

1 රාජාවලිය 2: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න