1 රාජාවලිය 15:25-32

1 රාජාවලිය 15:25-32 SROV

යෙරොබොවම්ගේ පුත්‍රවූ නාදාබ් යූදාහි රජවූ ආසාගේ දෙවෙනි අවුරුද්දේ ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී දෑවුරුද්දක් රජකම්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, තමාගේ පියාගේ මාර්ගයෙහිද ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ ඔහුගේ පාපයෙහිද හැසුරුණේය. තවද ඉස්සාඛර් වංශයේ අහියාගේ පුත්‍රවූ බාෂා නාදාබ්ට විරුද්ධව කුමන්ත්‍රණයකොට, නාදාබ් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන් වටලාගන සිටින අතර එහිදී ඔහුට පහරදුන්නේය. යූදාහි රජවූ ආසාගේ තුන්වෙනි අවුරුද්දේදී බාෂාතෙමේ නාදාබ් මරා ඔහු වෙනුවට රජවුණේය. තවද රජවූ වහාම ඔහු යෙරොබොවම්ගේ මුළු වංශය නැසුවේය; විනාශනොකර පණපිටින් කිසිවෙකු ඔහු යෙරොබොවම්ට ඉතුරු නොකෙළේය. එසේ වුණේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්කරන ලෙස යෙරොබොවම් විසින් කළාවූද ඉශ්‍රායෙල්වරුන්ට කරන්ට සැලැස්සුවාවූද පව් නිසා ස්වාමීන්වහන්සේ තමන්ගේ දාසයාවූ ෂීලොනිය අහියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනයේ හැටියටය. නාදාබ්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? ආසා සහ ඉශ්‍රායෙල්හි රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.