1 රාජාවලිය 10:1-10
1 රාජාවලිය 10:1-10 SROV
ෂෙබායේ බිසව ස්වාමීන්වහන්සේගේ නාමයේ හේතුවෙන් සාලමොන්ට තිබෙන කීර්තිය අසා ගූඪ ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ආවාය. ඕතොමෝ ඉතා මහත් පිරිවරක්ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියකුත් අනර්ඝ ගලුත් පටවනලද ඔටුවන්ද ඇතුව යෙරුසලමට ආවාය. ඈ සාලමොන් වෙතට පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කථාකළාය. සාලමොන්ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කීය. රජ විසින් ඈට තෝරාදෙන්ට නොහැකිවූ යම් ප්‍රශ්නයක් නොවීය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත. ෂෙබාහි බිසව සාලමොන්ගේ මුළු ප්‍රඥාවද ඔහු ගොඩනැගූ ගෘහයද, ඔහුගේ මේසයේ කෑමද ඔහුගේ සේවකයන් හිඳගන්න අන්දමද ඔහුගේ මෙහෙකරුවන් සිටින හැටිද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ කුසලාන දරන්නන්ද ඔහු විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී යන පඩිපෙළද දුටු කල ඈ අතිශයින් මවිතවී, රජුට කථාකොට: මාගේ දේශයේදී ඔබගේ ක්‍රියාද ඔබගේ ප්‍රඥාවද ගැන මා විසින් ඇසූ පවත් සැබෑය. එහෙත් මම ඇවිත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාසනොකෙළෙමි. සැබවින් අර්ධයක්වත් මට නොකියන ලද්දේය. ඔබගේ ප්‍රඥාවත් යසසත් අභිවෘද්ධියත් මා ඇසූ කීර්තියට වඩා මහත්ව තිබේ. ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, නිතරම ඔබ ඉදිරියෙහි සිට ඔබගේ ප්‍රඥාව අසන මේ ඔබගේ සේවකයෝ වාසනාවන්තයෝය. ඉශ්‍රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වුණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඉශ්‍රායෙල්ට ප්‍රේමකළ බැවින් විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය. තවද ඈ රන් තලෙන්ත එකසිය විස්සක්ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය. ෂෙබාහි බිසව සාලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය තරම් සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේය.

