ශුද්ධවර මාක් 16
16
පුනරුජ්ජීවනය
(මතෙ 28:1-8; ලූක් 24:1-12; ජොහ 20:1-10)
1සබත් දින ගෙවුණු පසු මග්දලායේ මරියා ද ජාකොබ්ගේ මව වූ මරියා ද සලෝමි ද ගොස්, උන් වහන්සේ ආලේප කරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ. 2ඔව්හු සතියේ පළමු වන දා පාන්දර, හිරු උදා වූ විගස ම, සොහොන් ගේ ළඟට ආහ. 3ඔව්හු, “අපට සොහොන් ගෙයි දොරකඩින් ගල ඉවතට පෙරළා දෙන්නේ කවරෙක් දැ”යි ඔවුනොවුන් අතර විමසූ හ. 4හොඳින් බැලූ කල, ඒ ගල අති විශාල එකක් වුව ද අහකට පෙරළා තිබෙනු ඔව්හු දුටුවෝ ය. 5එකල ඔව්හු සොහොන් ගෙට පිවිස, සුදු සළුවක් හැඳගත් තරුණයෙකු දකුණු පස ඉඳගෙන සිටිනු දැක භීත වූ හ. 6ඔහු ඔවුන් අමතා, “බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය; උන් වහන්සේ උත්ථාන වූ සේක; උන් වහන්සේ මෙහි නැත; මේ බලන්න, ඔවුන් උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය; 7#මතෙ 26:32; මාක් 14:28 යන්න, ඔබට කී ලෙස ම උන් වහන්සේ ඔබට කලින් ගලීලයට වඩිනා බවත්, එහි දී ඔබ උන් වහන්සේ දක්නා බවත්, ශ්‍රාවකයන්ට ද පේදුරුට ද දන්වන්නැ”යි කී ය. 8ඔව්හු කම්පිත ව, විස්මිත ව සොහොන් ගෙයින් පිට වී පලා ගියහ. තවද, ඔව්හු භීත ව සිටි බැවින්, කිසිවෙකුට කිසිවක් නොකී හ.#16:8 පැරණිතම පිටපත් සමහරක, ශුද්ධවර මාක් තුමන්ගේ සුබ අස්න මෙතෙකින් අවසන් වේ.
මග්දලායේ මරියාට දර්ශනය වීම
(මතෙ 28:9-10; ජොහ 20:11-18)
9සතියේ පළමු වන දා අලුයම ජේසුස් වහන්සේ නැඟිට වදාළ කල, උන් වහන්සේ තමන් විසින් දුෂ්ටාත්මයන් සත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලායේ මරියාට මුලින් ම දර්ශනය වූ සේක. 10ඈ ගොස්, අඬමින් වැලපෙමින් සිටි උන් වහන්සේගේ හිතවතුන්ට එපවත් සැළ කළා ය. 11එහෙත්, උන් වහන්සේ ජීවමාන ව සිටින බව ද ඇයට දර්ශනය වූ බව ද ඇසූ විට ඔව්හු එය විශ්වාස නො කළහ.
ශ්‍රාවකයන් දෙදෙනෙකුට දර්ශනය වීම
(ලූක් 24:13-35)
12ඉක්බිති ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටිසරට යන කල උන් වහන්සේ අන් විලසකින් ඔවුන්ට දර්ශනය වූ සේක. 13ඒ දෙදෙන ආපසු ගොස් අනික් අයට එපවත් දැන්වූ හ. ඔව්හු ඔවුන් කී දෙය ද විශ්වාස නො කළහ.
ධර්මදූත සේවාව පැවරීම
(මතෙ 28:16-20; ලූක් 24:36-49; ජොහ 20:19-23; ක්‍රියා 1:6-8)
14පසුව ජේසුස් වහන්සේ, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක. 15#ක්‍රියා 1:8උන් වහන්සේ ඔවුන් අමතා, “ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න; 16අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය. 17අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති; 18සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක.
ස්වර්ගාරෝහණය
(ලූක් 24:50-53; ක්‍රියා 1:9-11)
19 #
ක්‍රියා 1:9-11
මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක. 20ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක.
ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්.#16:20 එක පිටපතක ශුද්ධවර මාක් තුමන්ගේ සුබ අස්න මෙතැනින් නිම වෙයි.
Atualmente Selecionado:
ශුද්ධවර මාක් 16: NRSV
Destaque
Copiar
Comparar
Compartilhar
Quer salvar seus destaques em todos os seus dispositivos? Cadastre-se ou faça o login
Ceylon Bible Society