මතෙව් 5
5
කන්ද උඩ දේශනාව
1ජනකාය දුටු කල, යේසුස්වහන්සේ කන්දට නැගුණ සේක. උන්වහන්සේ හිඳගත් පසු, උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙත ආහ. 2එකල උන්වහන්සේ මෙසේ කියමින් ඔවුන්ට උගන්වන්ට වන් සේක.
භාග්‍යවන්තයෝ
උන්වහන්සේ මෙසේ කී සේක:
3“ආත්මයෙන් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
4ශෝකවන්නෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු සනසනු ලබන්නෝ ය.
5මෘදු ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු පොළොව උරුම කර ගන්නෝ ය.
6ධර්මිෂ්ඨකමට සා-පිපාස ඇත්තෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු සෑහීමට පත් වන්නෝ ය.
7දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු දයාව ලබන්නෝ ය.
8හදින් පවිත්‍ර ඇත්තෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු දෙවියන්වහන්සේ දකින්නෝ ය.
9සාමය සලසන්නෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ඔවුහු දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය කියනු ලබන්නෝ ය.
10ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය,
මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.
11“මා නිසා, අන්‍යයන් ඔබට ගැරහුම් කරන කල, පීඩා කරන කල, හැම අයුරක ම නපුර පවරා, ඔබට එරෙහිව අසත්‍ය පවසන කල ඔබ භාග්‍යවත් ය. 12ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගයේදී ඔබගේ ත්‍යාගය ඉමහත් ය. ඔබට කලින් සිටි දිවැසිවරුනට ඔවුන් පීඩා කළේ එලෙස ම ය.
ලුණෙහි රස-පහනෙහි එළිය
13“ඔබ පොළොවේ ලුණු ය. එහෙත් ලුණෙහි ලුණු රසය නැති වුවහොත්, යළි එය ලුණු රස ගැන්විය හැක්කේ කෙසේ ද? පිටත දමා, මිනිසුන්ගේ පයට පෑගෙන්නට හැර දැමීම මිස, තවත් එයින් ගත හැකි වැඩක් නැත.
14“ඔබ ලෝකයේ ආලෝකය ය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නො හැක. 15කිසිවකු පහනක් දල්වා, එය බඳුනකින් වසන්නේ නැත; කරන්නේ පහන් රුකක් මත තැබීම ය; එවිට නිවසේ හැම කෙනකුට ම එය එළිය දෙයි. 16එලෙස ම අන්‍යයන් ඔබගේ සද් ක්‍රියා දැක, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේට මහිමය දෙන පිණිස, ඔවුන් ඉදිරියේ ඔබේ එළිය බබළවන්න.
නීතිය ඉටු කිරීම
17“ව්‍යවස්ථාව හෝ දිවැසිවරුන් හෝ අවලංගු කරන්නට මා ආවා යයි නො සිතන්න; ඒවා සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට මා ආවා නො වෙයි. 18මන්ද සැබවින් ම මා ඔබට කියන්නේ, අහසත්, පොළොවත් පහව යන තෙක්, ව්‍යවස්ථාවෙන් එක් ඉස්පිල්ලක්, පාපිල්ලක් වුව කිසි සේත් පහ වී නො යන වගයි. 19ඉන් ඉතාම සුළු ආඥාවක් හෝ කඩ කරන, කඩ කරන්නට අන් අයට උගන්වන කවරකු නමුදු ස්වර්ග රාජ්‍යයේ ඉතා සුළු කෙනකු සේ සැලකේ. එහෙත් ඒ නියෝග පිළිපදින, පිළිපැදීමට උගන්වන කවරකු නමුත් ස්වර්ග රාජ්‍යයේ උතුම් කෙනකු සේ සැලකේ. 20මන්ද ඔබගේ ධර්මිෂ්ඨකම, පරිසිවරුන්ගේ හා දහම් පඬිවරුන්ගේ ධර්මිෂ්ඨකම ඉක්මවන්නේ නැති නම්, කිසි කල ස්වර්ග රාජ්‍යයට ඔබ ඇතුළු වන්නේ නැත.
කෝපය පිළිබඳ
21“පුරාතන ජනයාට, ‘මිනී නො මරනු;#5:21 නික්ම 20;13 මිනී මරන කවරකු නමුත් විනිශ්චයට යටත් යැ’ යි කියා ඇති වග ඔබ අසා තිබේ. 22එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා#5:22 ග්‍රීක පුරුෂ හෝ ස්ත්‍රී ගෝලයකු අදහස් කෙරේ. 23 වෙනි පදය ද එසේ ම ය. සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා#5:22 රකා ඇරමෙයික් බසින් අපහාසික නාමයකි.’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය, ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය.
23“එබැවින් පූජාසනයේ ඔබ, ඔබේ පඬුර පුදන කල, ඔබේ සහෝදරයාට ඔබට එරෙහි යමක් වෙතැයි සිහි වුවහොත්, 24ඔබේ පඬුර, පූජාසනය පසෙක තබා, පළමු ව ගොස්, ඔබේ සහෝදරයා හා සමඟි වී, ඉන්පසු අවුත් ඔබේ පඬුර පුදන්න.
25“ඔබේ එදිරිවාදියා සමඟ උසාවියට යන අතර, පමා නො වී, ඔහු හා සමථයකට එළැඹෙන්න. නැතහොත් ඔහු නඩුකාරයා ඉදිරියට ඔබ පමුණුවනු ලබනු ඇත; නඩුකාරයා නීතියේ නිලධාරීන්ට ඔබ බාර දෙනු ඇත; ඔබ ව සිර ගෙයි දමනු ඇත. 26සත්තකින් ම මා ඔබට කියන්නේ, අන්තිම සතය දක්වා ඔබේ දඩය ගෙවා දමන තුරු, ඔබ ඉන් පිටතට නො එන බවයි.
පරදාර සේවනය පිළිබඳ
27“ ‘පරදාර සේවනය නො කළ යුතු ය’#5:27 නික්ම 20;14 කියා ඇති වග ඔබ අසා ඇත. 28එහෙත් මා ඔබට කියන්නේ, ස්ත්‍රියක දෙස රාගයෙන් බලන කවරකු වුව, ඒ වන විටත්, තම හදවතින් ඇය හා පරදාර සේවනයේ යෙදී ඇති වගයි. 29ඔබේ දකුණු ඇස, පාපයට ඔබ පොලඹවයි නම්, එය උගුලා ඉවත දමන්න. මන්ද ඔබගේ මුළු සිරුර ම නිරයට හෙළනු ලැබීමට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම වඩා හොඳ ය. 30ඔබගේ දකුණු අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා ඉවතලන්න. ඔබගේ මුළු සිරුර ම නිරයට යනවාට වඩා සිරුරේ එක් අවයවයක් අහිමි වීම ඔබට වඩා හොඳ ය.
දික්කසාදය පිළිබඳ
31“ ‘තම භාර්යාව දික්කසාද කරන කවරකු වුව, ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යැ’#5:31 ද්වි 24;1 යි කියා තිබේ. 32එහෙත් මා ඔබට කියන්නේ, ලිංගික අනාචාරය නිසා හැර, තම භාර්යාව අත්හැර දමන කවරකු වුව, පරදාර සේවනයට ඇය යොමු කරවන වගයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කර ගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි.
දිවුරුම පිළිබඳ
33“තවද, ‘බොරුවට නො දිවුරන්න; ස්වාමින්වහන්සේට කළ ඔබේ දිවුරුම ඉටු කරන්නැ’ යි පුරාතන ජනයාට කියා ඇති වග ඔබ අසා ඇත. 34එහෙත් මා ඔබට කියන්නේ, කොහෙත් ම නො දිවුරන්න. ස්වර්ගය, දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් එය ගැනවත්, 35පොළොව, උන්වහන්සේගේ පා පුටුව බැවින් එය ගැනවත්, යෙරුසලම, ශ්‍රේෂ්ඨ රජුගේ පුරවරය බැවින් එය ගැනවත් නො දිවුරන්න. 36ඔබේ හිස ගැනත් නො දිවුරන්න; මන්ද එක් හිස කෙසක්වත් සුදු හෝ කළු කරන්නට ඔබට නො හැකි ය. 37ඔබ කියන දේ ‘ඔව්’ නම් ඔව් කියා ද හෝ ‘නැත’ නම් නැත කියා ද කීම සෑහේ; ඊට වැඩියෙන් පවසන දෑ එන්නේ නපුරාගෙනි.
ඇසකට ඇසක්
38“ ‘ඇසකට ඇසකි; දතකට දතකි’#5:38 නික්ම 21;24; ලෙවී 24;20; ද්වි 19;21 යි කියා ඇති බව ඔබ අසා ඇත. 39එහෙත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට එරෙහි නො වන්න. යමෙක් ඔබගේ දකුණු කම්මුලට ගැසුවහොත්, ඔහුට අනෙක් කම්මුලත් හරවන්න. 40නඩු කියා යමකු ඔබේ යටි කබාය ගන්නට කැමැත්තේ නම්, ඔබේ උඩු කබායත් ඔහුට දෙන්න. 41සැතපුමක් යන්නැයි යමකු ඔබට බල කළහොත්, ඔහු හා සැතපුම් දෙකක් ම යන්න. 42ඔබෙන් ඉල්ලන්නාට දෙන්න. ඔබෙන් ණයට ගන්නට කැමති තැනැත්තාට නො පිටුපාන්න.
සතුරන්ට ප්‍රේමය
43“ ‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න; ඔබේ සතුරාට වෛර කරන්නැ’#5:43 ලෙවී 19;18 යි කියා ඇති බැව් ඔබ අසා තිබේ. 44එහෙත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න කියා ය. 45මෙසේ ඔබ, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේගේ පුත්‍රයින් වනු ඇත. මන්ද උන්වහන්සේ දුෂ්ටයින්ටත්, ධර්මිෂ්ඨයින්ටත්, තම හිරු උදා කරන සේක. දමිටුන්ටත්, අදමිටුන්ටත් වැසි වස්වන සේක. 46ඔබ ප්‍රේම කරන්නේ ඔබට ප්‍රේම කරන අයට පමණක් නම්, ඔබට ඉන් ඇත්තේ කවර ප්‍රති විපාකයක් ද? බදු අය කරන්නෝ පවා එසේ නො කරත් ද? 47ඔබ ආචාර කරන්නේ ඔබගේ සහෝදරයින්ට පමණක් නම්, අන් අය කරනවාට වඩා එහි ඇති පලේ කුමක් ද? විජාතිකයෝ පවා එසේ නො කරත් ද? 48එබැවින් ඔබේ ස්වර්ගීක පියාණන්වහන්සේ පරිපූර්ණ ව සිටින සේ ඔබත් පරිපූර්ණ ව සිටින්න.
လက္ရွိေရြးခ်ယ္ထားမွု
මතෙව් 5: SCV
အေရာင္မွတ္ခ်က္
မၽွေဝရန္
ကူးယူ
မိမိစက္ကိရိယာအားလုံးတြင္ မိမိအေရာင္ခ်ယ္ေသာအရာမ်ားကို သိမ္းဆည္းထားလိုပါသလား။ စာရင္းသြင္းပါ (သို႔) အေကာင့္ဝင္လိုက္ပါ
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.