Logo ya Aplikasyo ya Biblia
Elilingi ya Boluki

රෝම 3

3
විශ්වාසී දෙවියන්වහන්සේ
1එසේ නම් යුදෙව්වරයකු වීමේ වාසිය කුමක් ද? චර්ම-ඡේදනයේ ඇති වටිනාකම කුමක් ද? 2හැම අතින් ම බොහෝ ය. මුලින් ම, දෙවියන්වහන්සේගේ කියමන් බාර දෙනු ලැබ ඇත්තේ, යුදෙව්වරුන්ට ය.
3ඇතමකු අවිශ්වාසවන්ත වූවා නම් කිමෙක් ද? ඔවුන්ගේ විශ්වාසය නොමැතිකමින් දෙවියන්වහන්සේගේ විශ්වාසී භාවය අහෝසි වේ ද? 4කොහොමටවත් නැත! හැම කෙනකු ම බොරුකරුවකු වුවත්, දෙවියන්වහන්සේ සත්‍යවාදී වග පෙනේවා. ලියා ඇති පරිදි:
“ඔබ පවසන වදනින්, ඔබේ දමිටුකම ප්‍රකාශ වේ.
ඔබ විනිශ්චය කරන කල, ජය ඔබට අත් වේ.”#3:4 ගීතා 51;4
5අපගේ අධර්මිෂ්ඨකම මගින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රදර්ශන කෙරේ නම්, අපට කිව හැක්කේ කුමක් ද? (මානව තර්කයෙන් කිවහොත්) උදහසේ දඬුවම පැමිණවීමට දෙවියන්වහන්සේ අසාධාරණ ද? 6කොහෙත් ම නැත. එසේ වුවහොත්, දෙවියන්වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේ ද? 7මගේ අසත්‍ය තුළින් දෙවියන්වහන්සේගේ සත්‍යය, වඩා ඉස්මතු වී, එය උන්වහන්සේගේ තේජෝමහිමයට හේතු වේ නම්, මා පව්කරුවෙකැයි තවමත් තීන්දු කරන්නේ මන්ද? 8එසේ කීම, “යහපත පැමිණෙන පිණිස නපුර කරමු” යි කීම වැනි ය. (අප එසේ කියතැයි සමහරු අප ගැන අපහාසාත්මක කතා පතුරුවා තිබේ.) ඔවුන්ගේ දඬුවම සාධාරණ ය.
ධර්මිෂ්ඨ කෙනකු නැත
9එසේ නම් කුමක් ද? යුදෙව් අපට වාසියක් වේ ද? නැත; කොහෙත් ම නැත. සියලු යුදෙව්වන් සේ ම, ග්‍රීකයින් ද යන දෙගොල්ල ම පාපය යටතේ බැව් දැනටමත් අප ඔබට දෝෂාරෝපණ කොට තිබේ. 10ඒ ගැන ලියා තිබෙන ලෙස,
“ධර්මිෂ්ඨ කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.
11වටහා ගන්නා කෙනෙක් නැත.
දෙවියන්වහන්සේ සොයන කෙනෙක් නැත.
12සැවොම ඉවත හැරී,
ඔවුන් එක් ව නිෂ්ඵල බවට පත් ව ඇත;
යහපතක් කරන කෙනෙක් නැත;
එක් කෙනකුවත් නැත.”#3:12 ගීතා 14:1-3;53:1-3; දේශනා 7:20
13“ඔවුන්ගේ උගුරු, කට ඇරගත් මිනීවළකි.
රැවටීමට ඔවුහු තම දිව් යොදා ගනිති.”#3:13 ගීතා 5;9
“ඔවුන්ගේ තොල් යට පොළොං විස ය.”
14“ඔවුන්ගේ මුව, ශාපවලින් හා තික්තකමින් පිරිලා ය.”#3:14 ගීතා 10;7
15“ඔවුන්ගේ පාද, ලේ හැලුමට යුහු යුහු ව යයි;
16ඔවුන්ගේ මාවත්වල ඇත්තේ විනාශය හා විපත්තියයි;
17සාමයේ මාර්ගය ඔවුන් දන්නේ නැත.”#3:17 යෙසා 59:7,8
18“ඔවුන්ගේ ඇස් හමුවේ දෙවියන්වහන්සේට භයක් නැත.”#3:18 ගීතා 36;1
19දැන් අප දන්නා පරිදි, හැම කටක් ම වහන පිණිස හා මුළු ලෝකය ම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන පිණිස, ව්‍යවස්ථාවේ යම් දෙයක් කියයි ද ඒ දෑ කියන්නේ, ඒ ව්‍යවස්ථාව යටතේ සිටින්නන්ට ය. 20මන්ද ව්‍යවස්ථාවේ ක්‍රියා මගින් කිසි මිනිසකු උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරනු ලබන්නේ නැත. ව්‍යවස්ථාව මගින් කෙරෙන්නේ පාප අවබෝධය ගෙන ඒම ය.
ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙනි
21එහෙත් දැන් ව්‍යවස්ථාවෙන් තොර ව දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම එළිදරවු කර තිබේ. ව්‍යවස්ථාව හා දිවැසිවරුන් ඊට සාක්ෂි දරන පරිදි, 22දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මගින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත. 23මන්ද සියල්ලෝ ම පව් කොට, දෙවියන්වහන්සේගේ මහිමයෙන් පිරිහී සිටිති, 24දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ත්‍යාගයක් වශයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති මිදීම මගින් ධර්මිෂ්ඨ කරනු ලබති. 25උන්වහන්සේගේ ලේ තුළ ඇදහීම මගින්, පාප වන්දි නිවාරණය ලබා ගැනීමට සලසා දුන්නේ දෙවියන්වහන්සේ ය. එසේ කර ඇත්තේ, තමන්වහන්සේගේ දිව්‍ය ඉවසිලිවත්කම හේතු කොට, පෙර කල්හි කළ පාප නො සලකා හැරීමෙන්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය. 26තවද එසේ කර ඇත්තේ, තමන්වහන්සේ සාධාරණ වන හැටියට හා යේසුස්වහන්සේ තුළ අදහාගන්නන් නිර්දෝෂකරන්නා වන හැටියට මේ වත්මනේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය.
27එසේ නම් අපගේ පුරසාරම කොහේ ද? එය ඉවත් කරනු ලැබ ඇත. ඒ කවර නීතියකින් ද? ක්‍රියාවල නීතියකින් ද? නැත! ඇදහිල්ලේ නීතියෙනි. 28මන්ද අපේ පිළිගැනීම නම්, කෙනකු ධර්මිෂ්ඨ කරනු ලබන්නේ, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් තොර ව, ඇදහිල්ල මගින් බවයි. 29දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ගේ පමණක් දෙවියන්වහන්සේ ද? උන්වහන්සේ අන්‍ය-ජාතිකයින්ගේත් දෙවියන්වහන්සේ නො වන සේක් ද? සත්තකින් ම අන්‍ය-ජාතීන්ගේත් ය. 30දෙවියන්වහන්සේ එක ම තැනැන්වහන්සේ වන සේක. උන්වහන්සේ චර්ම-ඡේදිතයන් ඇදහිල්ල මගින් ද චර්ම-අඡේදිතයන් ඇදහිල්ල තුළින් ද ධර්මිෂ්ඨ කරන සේක. 31එසේ නම්, අපි මෙම ඇදහිල්ල මගින් ව්‍යවස්ථාව අවලංගු කරන්නෙමු ද? කොහෙත් ම නැත! සැබවින් ම අපි එය තහවුරු කරන්නෙමු.

Oyo Eponami Sikoyo:

රෝම 3: SCV

Tya elembo

Kopya

Kokisana

Kabola

None

Olingi kobomba makomi na yo wapi otye elembo na baapareyi na yo nyonso? Kota to mpe Komisa nkombo