සෙකරියා 9

9
සතුරනට විනිශ්චය
1දිව්‍ය ප්‍රකාශනයකි:
ස්වාමින්වහන්සේගේ වචනය හද්‍රාක් දේශයට එරෙහිව ඇත.
එය දමස්කය පිට නැවතී ගනු ඇත.
මන්ද මිනිස් සංහතියේ හා ඉශ්‍රායෙල් සමස්ත ගෝත්‍රයන්ගේ ඇස්
ස්වාමින්වහන්සේ වෙත ද
2එහි දේශ සීමාවේ වූ හමාත් වෙත ද
මහත් සේ ප්‍රඥාවත් වුව ද තීර් හා සීදොන් වෙත ද යොමු ව ඇත.
3තමනට බළකොටුවක් ගොඩ නගා ගත් තීර්,
දූවිලි සේ රිදී ද
වීදිවල කසළ සේ රන් ද ගොඩ ගසා ගෙන ඇත.
4එහෙත් මෙන්න! ස්වාමින්වහන්සේ තීර්හි වස්තුව, එයින් ගලවා දමන සේක්,
ඇගේ බළකොටු පවුර මුහුදේ හෙළා දමන සේක.
තීර් ගින්නෙන් දැවී යනු ඇත.
5අෂ්කෙලොන්, එය දැක බය වෙයි.
ගාසා, තද වේදනාවෙන් ඇඹරෙයි.
එක්‍රෝන්හි බලාපොරොත්තුව මැලවී යයි.
ගාසාට එහි රජු අහිමි වෙයි.
අෂ්කෙලොන් පාළු වී යයි.
6මිශ්‍ර ජාතීන්, අෂ්දෝද්හි පදිංචි වනු ඇත.
පිලිස්තිවරුන්ගේ අහංකාරය මම බිඳලන්නෙමි.
7ඔවුන්ගේ මුවින් මම ලෙය ඉවතට ගන්නෙමි;
ඔවුන්ගේ දත් අතරින් පිළිකුල් සහගත දෑ පහ කරන්නෙමි.
ඔවුන් ද අපේ දෙවියන්වහන්සේට ජීවත් ව ඉතිරි සිටින්නන් වනු ඇත.
ඔවුන් යූදාහි ජන පෙළපතක් වනු ඇත.
එක්‍රෝන්, යෙබූසිවරුන් මෙන් වනු ඇත.
8කිසිවකු එය හරහා ඉදිරි සහ පෙරළා ගමනේ නොයෙදෙන පරිදි
මුරකරුවකු පරිද්දෙන් මගේ ගෘහය මම සුරකින්නෙමි.
කිසි පීඩකයකු එය පිට සක්මන් කරන්නේ නැත.
මන්ද දැන් මම මගේ ම දෙනෙතින් බලා සිටින්නෙමි.
සියොනේ රජු
9හොඳහැටි ප්‍රීති වන්න. එම්බා සියොන් දියණිය,
ජය ගොස නගන්න. එම්බා යෙරුසලම් දියණිය,
මෙන්න, ඔබේ රජ ඔබ වෙත එයි.
උන්වහන්සේ ධර්මිෂ්ඨ ය, ගැලවීම ඇති තැනැත්තා ය.
නිහතමානී ව බූරුවකු පිට නැග,
දෙනකගේ පැටවකු වන වස්සකු පිට එයි.
10එප්‍රායිම් වෙතින් යුද්ධ රථ ද
යෙරුසලම වෙතින් යුද්ධ-අශ්වයින් ද මම සිඳ දමන්නෙමි.
සටනට ගන්නා දුණු-හී ද කැඩී බිඳෙනු ඇත.
එතුමාණෝ ජාතීන් වෙත සාමය ප්‍රකාශ කරන සේක.
එතුමාණන්ගේ රාජ්‍යය මුහුදින් මුහුදටත්,
ගංගාවේ#9:10 ගංගාවේ එනම් යුප්‍රටීස් පටන් පොළෝ සීමාන්ත දක්වාත් ය.
11ඔබ ගැන නම්, ඔබ සමඟ වූ මගේ ගිවිසුමේ ලේ නිසා,
දිය නැති වළෙන්, නුඹේ සිරකරුවන් මම නිදහස් කරන්නෙමි.
12එම්බා බලාපොරොත්තුවේ සිරකරුවනි, ඔබගේ ආරක්ෂිත ස්ථානයට ආපසු එන්න;
දෙගුණයක ප්‍රතිසංස්කරණයක් ඔබට මේ අද දවසේ මම ප්‍රකාශ කරමි.
13මගේ දුන්න පරිදි මම යූදා නවාගෙන,
එප්‍රායිම් ඊතලය කොට යොදා ගන්නෙමි.
එම්බා ග්‍රීසිය, ඔබේ පුත්‍රයින්ට එරෙහිව,
එම්බා සියොන, මම ඔබේ පුත්‍රයින් පොලඹවා,
ඔබ රණවිරුවකුගේ කඩුව මෙන් කරන්නෙමි.
ස්වාමින්වහන්සේ එළිදරවු වනු ඇත
14එවිට ස්වාමින්වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙන්නට එනු ඇත.
උන්වහන්සේගේ ඊය විදුලි අකුණු ලෙසින් සැණෙක විහිද යනු ඇත.
පරමාධිපති ස්වාමින්වහන්සේ මේඝ-ගිගිරුම් හොරණෑව හඬවන සේක්,
දකුණු දිග කුණාටුව සමඟ සක්මන් කරන සේක.
15සේනාංකවල ස්වාමින්වහන්සේ ඔවුන් ආරක්ෂා කරන සේක.
ඔවුන්, සතුරන් විනාශ කොට,
ගල් පටියෙන් ජය ලබනු ඇත.
මිදි යුෂ බී විලස, බී කෑ-කෝ ගසන විලසින්,
පූජාසනයේ කොන්වලට ඉසින්නට ගන්නා පාත්‍රයක් මෙන්
ඔවුන් පිරී තිබේ.
16එඬේරකු තම රංචුව බේරාගන්නාක් මෙන්,
ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ දවසේ ඔවුන් මුදා ගන්නා සේක.
මන්ද, කිරුළක මැණික් ලෙසින්
ඔවුන් උන්වහන්සේගේ දේශයෙහි බැබළෙනු ඇත.
17මන්ද ඔවුන්ගේ යහගුණය හා අලංකාරය කෙතරම් උසස් ද!
ධාන්‍යවලින් තරුණයන් ද
අලුත් මිදි යුෂවලින් තරුණියන් ද සමෘධිමත් වනු ඇත.

하이라이트

공유

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요