මතෙව් 12

12
සබත් දවසේ ස්වාමියා
1එකල යේසුස්වහන්සේ සබත් දවසේදී කුඹුරු යායක් මැදින් ගමන් ගත් සේක. කුස ගිනි වූ උන්වහන්සේගේ ගෝලයෝ, ධාන්‍ය කරල් කඩා, කන්නට වූහ. 2පරිසිවරු ඒ දැක, “බලන්න! ඔබගේ ගෝලයෝ සබතේදී නීති විරෝධී දෙයක් කරති” යි කීහ.
3උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් කුස ගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කියවා නැද්ද? 4ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල් ව, පූජකයනට විනා ඔහුටත්, තම සගයින්ටත් කෑමට අකැප පිදුම් රොටි ගෙන කෑ හැටි? 5නොහොත්, දේව මාලිග පූජකයින් සබතේදී සබත් නීති කඩ කළ පසුව ද, නිදොස් ව සිටින බැව් ව්‍යවස්ථාවෙහි ඔබ කියවා නැද්ද? 6මා ඔබට කියන්නේ, දේව මාලිගයට වඩා උතුම් කෙනෙක් මෙහි සිටින වගයි. 7‘මම යාග පූජාවට නො ව දයාවට ආශා ඇත්තෙමි’#12:7 හොෂෙයා 6;6 යන්නෙහි අරුත ඔබ දැන සිටියා නම්, නිදොස් අයට වරද තබන්නේ නැත. 8මන්ද මනුෂ්‍ය පුත්‍රයාණෝ සබත් දවසේ ස්වාමියාණෝ යැ” යි පැවසූ සේක.
9උන්වහන්සේ එතැනින් නික්ම, ඔවුන්ගේ සිනගෝගයට ඇතුල් වූ සේක. 10අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය. “සබතේදී සුව කිරීම නිත්‍යානුකූල දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ උන්වහන්සේට චෝදනා කරන අටියෙනි.
11උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබ අතරේ කෙනකුට බැටළුවකු සිටින්නේ නම්, සබතකදී ඌ වළක වැටුණොත්, ඔබ ඌ අල්ලා ගොඩ ගන්නේ නැති ද? 12බැටළුවකුට වඩා මිනිසකු කොතරම් වටිනවා ද! එබැවින්, සබතේ දවසේදී යහපත කිරීම නිත්‍යානුකූල යැ” යි පැවසූ සේක.
13ඉන්පසු උන්වහන්සේ, “ඔබේ අත දිගු කරන්නැ” යි ඒ මිනිසාට කී විට, ඔහු එය දිගු කළේ ය; එය මුළුමනින් ප්‍රකෘතිමත් ව අනික් අත මෙන් යථා තත්වයට පත් ව තිබිණි. 14එහෙත් පරිසිවරු එතැනින් නික්ම ගොස්, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ.
දෙවිඳුන්ගේ තෝරාගත් සේවකයා
15යේසුස්වහන්සේ ඒ වග දැන, එතැනින් පිටත් ව ගිය සේක. බොහෝ දෙනෙක් උන්වහන්සේ පසු පස ගියහ. උන්වහන්සේ ඔවුන් සියල්ලන් සුව කළ සේක්, 16තමා කවුරුන්දැයි ප්‍රසිද්ධ නො කරන ලෙස ඔවුනට අණ කළ සේක. 17මෙසේ වූයේ දිවැසිවර යෙසායා විසින් පවසන ලද කියමන ඉටු වන පිණිස ය:
18“මෙන්න, මා තෝරාගත් මගේ සේවකයා,
මගේ ජීවය සොම්නස් කරවන, මා ප්‍රේම කරන තැනැත්තා;
ඔහු පිට මම මගේ ආත්මයාණන් තබමි.
ඔහු ජාතීනට යුක්තිය ප්‍රකාශ කරනු ඇත.
19ඔහු දබර කරන්නේවත්, මොර හඬ නගන්නේවත් නැත;
ඔහුගේ කටහඬ වීදිවලදී කිසිවකුට ඇසෙන්නේ නැත.
20ඔහු යුක්තිය, ජයට පත් කරන තෙක්,
තැළුණු බට දණ්ඩක් කඩන්නේවත්,
දුම් නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.
21ඔහුගේ නාමය තුළ ජාතීහු බලාපොරොත්තු තබනු ඇත.”#12:21 යෙසා 42:1-4
යේසුස්වහන්සේ සහ බෙල්සෙබුල්
22ඉන්පසු යක්ෂාත්මයක් වැහුණු, අන්ධ වූත්, ගොළු වූත් මිනිහෙක් උන්වහන්සේ වෙත ගෙනෙන ලදී. කතා කරන්නටත්, දකින්නටත් හැකි වන සේ උන්වහන්සේ ඔහු සුව කළ සේක. 23සියලු ජනයා විස්මිත වී, “මේ දාවිත්ගේ පුත්‍රයාණන්වත් දෝ?” යි පැවසූහ.
24එහෙත් පරිසිවරුනට එය සැල වූ කල, “මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති බෙල්සෙබුල් මගින් පමණි” යි කීහ.
25උන්වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන, ඔවුන් අමතමින්, “එයට ම එරෙහිව බෙදුනු හැම රාජ්‍යයක් බිඳ වැටෙයි. එයට ම එරෙහිව බෙදුනු නගරයක් හෝ ගෙදරක් හෝ පවතින්නේ නැත. 26සාතන් විසින් සාතන් දුරු කරනු ලබන්නේ නම්, ඔහු තමන්ට ම එරෙහිව බෙදී සිටියි. එසේ නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? 27මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මගින් නම්, ඔබේ පුතුන් උන් දුරු කරන්නේ, කවරකු මගින් ද? එබැවින්, ඔවුන් ම ඔබගේ විනිශ්චයකරුවන් ය. 28එනමුත් මා යක්ෂාත්මයන් දුරු කරන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මගින් නම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරේ පැමිණ ඇත.
29“පළමු කොට බලවන්තයා බැඳ දැමුවොත් මිස, බලවතකුගේ ගෙට ඇතුළු වී, ඔහු සතු දේ පැහැර ගත හැක්කේ කවරකුට ද? ඔහු බැඳ දැමූ පසු, ඔහුගේ ගෙය කොල්ලකත හැකියි.
30“මා සමඟ නො වන තැනැත්තා මට විරුද්ධ ය. මා හා එක් රැස් නො කරන්නා විසුරුවා හරියි. 31එබැවින් මා ඔබට කියන්නේ, හැම පාපයකට හා හැම දේවාපහාසයකට මිනිසාට කමාව දෙනු ලබන බවයි; එහෙත් ආත්මයාණන්වහන්සේට එරෙහිව නගන දේවාපහාසයට කමාවක් නැත. 32මනුෂ්‍ය-පුත්‍රයාට එරෙහි වචනයක් පවසන කවරකුට වුව, කමා කරනු ලැබේ. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව කතා කරන කවරකුට වුව, මේ යුගයේදීවත්, මතු පැමිණෙන යුගයේදීවත් කමා කරනු නො ලැබේ.
33“ගස හොඳ වූ කල, එහි පල ද හොඳ වෙයි. ගස නරක් වූ කල, එහි පල ද නරක් වේ. මන්ද ගස හැඳින ගන්නේ එහි පලවලිනි. 34පොළොං වංශය, දුෂ්ට වූ නුඹලා යහපත පවසන්නේ කොහොම ද? මන්ද කටින් පිට වන්නේ ඔහුගේ හදෙහි පිරී ඇති දෙයිනි. 35හොඳ මනුෂ්‍යයා, තමන් තුළ නිදන්ගත හොඳ දෑ ද නපුරු මිනිසා තමන් තුළ නිදන්ගත නපුරු දෑ ද පිටතට ගෙනේ. 36එබැවින් මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ජනයාට තමන් පවසන හැම නො සැලකිලි වචනයක් ගැන ම ගණන් දීමට සිදුවන බවයි. 37මන්ද ඔබ නිදොස් කරන්නේ ඔබේ ම වචන මගිනි. ඔබ වරදට පත් කරන්නේ ද ඔබේ ම වචන මගිනි” යි පැවසූ සේක.
යෝනා නැමති ලකුණ
38එකල දහම් පඬිවරු හා ඇතැම් පරිසිවරු උන්වහන්සේ අමතමින්, “ගුරුතුමනි, ඔබගෙන් ලකුණක් දකින්නට අප කැමති” යි කීහ.
39යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දුෂ්ටවූත්, පරදාරිකවූත් පරම්පරාවක් ලකුණක් ඉල්ලයි. එහෙත් දිවැසිවර යෝනාගේ ලකුණ මිස, අන් ලකුණක් ඔවුන්ට දෙනු නො ලැබේ. 40මන්ද යෝනා, යෝධ මත්ස්‍යයාගේ කුස තුළ දහවල තුනක් හා රෑ තුනක් සිටි සේ ම, මනුෂ්‍ය පුත්‍රයාණන් ද පොළෝ හද ගැබෙහි දහවල තුනක් හා රෑ තුනක් සිටිනු ඇත. 41නිනිවයේ මිනිසුන් විනිශ්චයේදී මේ පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත; මන්ද යෝනාගේ දේශනාවෙන් ඔවුහු පසුතැවිලි වූහ. දැන් මෙන්න! යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී. 42දකුණු දිශාවේ රැජින විනිශ්චයේදී මෙම පරම්පරාව සමඟ නැගිට, මොවුන් වරදට පත් කරනු ඇත. මන්ද සාලමොන්ගේ ප්‍රඥාවට සවන් දෙන පිණිස ඈ පොළෝ කෙළවරේ සිට ආවා ය. දැන් මෙන්න! සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටී.
43“අශුද්ධ ආත්මයක් මිනිසකුගෙන් දුරුව ගිය පසු, දිය නැති තැන්හි යමින්, නවාතැන් සොයා, එය නො ලැබුණ කල, 44‘මා පිට වී ආ නිවසට ම ආපසු යමි’ යි කියයි. එසේ ආ කල, ඒ නිවස හිස් ව, අතු ගා, පවිත්‍ර කොට, නිසි පිළිවෙලකට තබා තිබෙනු දකියි. 45එවිට ඔහු පිටත් ව ගොස්, තමාටත් වඩා දුෂ්ට වූ තවත් යක්ෂාත්ම හත්දෙනකු සමඟ අවුත්, ඇතුළු වී, එහි පදිංචි වෙයි. එවිට ඒ මිනිසාගේ අවසන් තත්වය පළමු තත්වයටත් වඩා නරක් වෙයි. මේ දුෂ්ට පරම්පරාවේ තත්වය ද එය ම වෙතැ” යි පැවසූ සේක.
මව සහ සොහොයුරෝ
46උන්වහන්සේ සමූහයා අමතමින් සිටියදී උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, උන්වහන්සේ හා කතා කරන අටියෙන් පිටතට වී සිටියහ. 47එවිට එහි සිටි කෙනෙක්, “අන්න, ඔබේ මෑණියන් හා සහෝදරයින් ඔබට කතා කරන පිණිස පිටත සිටිනවා” යි උන්වහන්සේට කීවේ ය.
48එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ මෑණියන් හා මගේ සහෝදරයින් කවුරු දැ?” යි පවසා, 49තම ගෝලයින් දෙස අත දිගු කරමින්, “මෙන්න මගේ මෑණියන් හා මගේ සහෝදරයින්; 50ස්වර්ගයේ සිටින මගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් වුව මගේ සහෝදරයා ද සහෝදරිය ද මෑණියන් ද වෙතැ” යි පැවසූ සේක.

선택된 구절:

මතෙව් 12: SCV

하이라이트

공유

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요