ලූක් 7

7
සෙන්පතියාගේ ඇදහිල්ල
1ජනයා අසා සිටියදී ඒ සියලු කියුම් කියා නිම වූ පසු, උන්වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ සේක. 2සියයේ සේනාංකයක් භාර සෙන්පතියකුට තමා ප්‍රිය වූ දාසයෙක් රෝගී ව, මරණාසන්න ව සිටියේ ය. 3යේසුස්වහන්සේ ගැන ඇසූ එම සියයේ සෙන්පතියා, පැමිණ තම දාසයා සුව කර දෙන්නැයි ඉල්ලන්නට යුදෙව් වැඩිහිටියන් කීප දෙනකු උන්වහන්සේ වෙත යැවී ය. 4යේසුස්වහන්සේ වෙත පැමිණි ඔවුහු උදක් ම අයදිමින්, “ඔබෙන් උදවු ලබන්නට ඔහු සුදුසුයි. 5ඔහු අපේ ජාතියට ප්‍රේම කරන්නෙක්. අපේ සිනගෝගය අපට තනා දුන්නේ ද ඔහුයි” කීහ. 6එවිට යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගිය සේක.
උන්වහන්සේ ඔහුගේ නිවසට ළඟා වෙත් ම, උන්වහන්සේ වෙතට පෙර මඟට තම මිතුරන් පිටත් කළ සියයේ සෙන්පතියා, “ස්වාමිනි, වෙහෙස නො වුව මැනවි, ඔබතුමා මගේ වහල යටට පැමිණීමට තරම් මා සුදුස්සෙක් නො වේ; 7ඔබ හමුවට ඒමට තරම් වත් මා වටින්නෙකැයි නො සිතුවේ එනිසයි; නමුත් වචනයක් පැවසුව මැනවි. එවිට මගේ මෙහෙකරුවා සුව වන්නේ ය. 8මන්ද මමත් ආධිපත්‍යයට යටත් මනුෂ්‍යයෙක්මි; මා යටතේ ද හේවායෝ සිටිති. මා මොහුට ‘යනු’ යි කී කල ඔහු යයි; වෙනෙකකුට ‘එනු’ යි මා කී කල ඔහු එයි. ‘මෙය කරනු’ යි මගේ මෙහෙකරුට කී කල, ඔහු එය කරතැ” යි පැවසී ය.
9ඒ ඇසූ කල, ඔහු ගැන විස්මපත් වූ යේසුස්වහන්සේ, තමන් පිරිවරා ආ පිරිස දෙස හැරී, “මේ තරම් මහත් ඇදහිල්ලක් ඉශ්‍රායෙල්හිවත් මා දැක්කේ නැති වග මා ඔබට කියනවා” යි පැවසූ සේක. 10යවනු ලැබූ අය නිවසට ආපසු පැමිණි කල, ඒ දාසයා හොඳ සුවයෙන් සිටිනු දුටුවහ.
වැන්දඹුවගේ පුත්‍රයා මළවුන්ගෙන් නැගිටුවීම
11ඉන් අනතුරුව උන්වහන්සේ නායින් නම් වූ නගරයට ගිය සේක. උන්වහන්සේගේ ගෝලයෝ ද මහා ජන සමූහයක් ද උන්වහන්සේ සමඟ ගියහ. 12උන්වහන්සේ නගර දොරටුවට ළඟා වෙත් ම; මෙන්න! මළ මිනියක් පිටතට ගෙන එමින් තිබිණි. ඒ, වැන්දඹු මවකට සිටි එක ම පුත්‍රයා වූ කෙනකුගේ ය. සෑහෙන පිරිසක් නගරයේ සිට ඇය සමඟ ගමන් කළහ. 13ස්වාමින්වහන්සේ ඇය දුටු කල, ඇයට අනුකම්පා කර, “හඬන්න එපා” යි පැවසූ සේක.
14උන්වහන්සේ දෙණ වෙත ගොස්, ඊට අත තැබූ කල, දෙණ උසුලන්නෝ නැවතුණහ. එවිට උන්වහන්සේ, “තරුණය, නැගිටින්නැයි මම ඔබට කියමි!” යි කී සේක. 15මළ මිනිසා කෙළින් වී හිඳ, කතා කරන්නට වන්නේ ය. යේසුස්වහන්සේ ඔහුගේ මවට ඔහු භාර දුන් සේක.
16එවිට සියල්ලෝ භයින් වෙළී, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර නැගිටලා! දෙවියන්වහන්සේ තම ජනයාට පිහිට වන්නට ඇවිල්ලා!” යි කියමින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝ ය. 17උන්වහන්සේ පිළිබඳ පුවත මුළු යුදය පුරාත්, ඒ අවට පෙදෙස්හිත් පතළ විය.
යොහන් බව්තීස්තගේ පැනය
18යොහන්ගේ ගෝලයෝ මේ සියලු විස්තර යොහන්ට දැන්වූහ. එකල තම ගෝලයින් දෙදෙනකු තමා වෙත කැඳවූ ඔහු, 19ස්වාමින්වහන්සේ වෙත ඔවුන් යවමින්, “එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?” යි අසා යැවී ය.
20ඒ මිනිස්සු උන්වහන්සේ වෙත අවුත්, “ ‘එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?’ යි ඔබගෙන් අසන්නට යොහන් බව්තීස්ත අප එවී යැ” යි කීහ.
21ඒ පැයේදී ම උන්වහන්සේ රෝග හා ව්‍යාධි තිබූ බොහෝ දෙනකු ද දුෂ්ටාත්ම ද සුව කර, අන්ධ ව සිටි බොහෝ දෙනකුට පෙනීම දුන් සේක. 22ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “දැන් ආපසු ගොස්, ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කෙරෙති; බිහිරි අය ඇසීම ලබති. මළාහු නැගිටුවනු ලබති. දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ. 23මා ගැන නො පැකිළෙන තැනැත්තා භාග්‍යවතෙකැ” යි පැවසූ සේක.
24යොහන්ගේ පණිවුඩකරුවන් නික්ම ගිය පසු, රැස් ව සිටි ජන සමූහයාට යොහන් ගැන කතාව පටන් ගත් යේසුස්වහන්සේ, “ඔබ පාළුකරයට පිටත් ව ගියේ කුමක් බලන්න ද? සුළඟින් සැලෙන බට ගසක් බලන්න ද? 25එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු ද? බලන්න, අගනා සළු පිළි හැඳ, සුඛ විහරණයෙන් දිවි ගෙවන අය සිටින්නේ රජ මාලිගාවලයි. 26එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු ය කියායි. 27මෙසේ ලියා තියෙන්නේ ඔහු ගැනයි:
“ ‘මෙන්න මම මගේ දූතයා ඔබට පෙරටුව යවමි.
ඔබ ඉදිරියේ ඔහු ඔබේ පෙරමග සකසනු ඇත.’#7:27 මලාකී 3;1
28මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන් කිසිවකු යොහන්ට වඩා උතුම් නො වන බවයි; එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය.”
29(යොහන්ගේ බව්තීස්ම ලබා සිටි, බදු අය කරන්නන් ඇතුළු ව මුළු ජනයා ඒ ඇසූ කල, දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ වග ප්‍රකාශ කළහ. 30එහෙත් පරිසිවරු හා නීති විශාරදයෝ ඔහුගෙන් බව්තීස්ම නො ලැබ, තමන් සඳහා වූ දෙවියන්වහන්සේගේ සැලැස්ම ප්‍රතික්ෂේප කළහ.)
31“එසේ නම් මම මේ පරම්පරාවේ ජනයා කුමකට සමාන කරම් ද? ඔවුන් කවුරුන්ට සමාන ද? 32කඩ-මණ්ඩියේ හිඳ තම සගයනට මෙසේ හඬ ගසන දරුවනටයි:
“ ‘අප ඔබට නළා පිම්බා,
කෝ! ඔබ නැටුවේ නෑ;
අප විලාප ගී ගැයුවා;
ඔබ හැඬුවේ නෑ.’
33මන්ද යොහන් බව්තීස්ත පැමිණියේ රොටි කන්නේවත්, මිදි යුෂ බොන්නේවත් නැතිවයි. ඊට ඔබ කියන්නේ, ‘ඔහුට යක්ෂාත්මයක් වැහිලා ඇත’ කියායි. 34මනුෂ්‍ය පුත්‍රයා ආවේ කමින්, බොමින්; එවිට ඔබ කියන්නේ, ‘මෙන්න බලන්න! කෑදරයෙක්, බේබද්දෙක්; බදු අයකරන්නන්ගේ හා පව්කරුවන්ගේ මිතුරෙක්!’ කියායි. 35එහෙත් ප්‍රඥාව නිවැරදි බව එහි දරුවන්ගෙන් ඔප්පු වී ඇතැ” යි පැවසූ සේක.
පවිටු අඟනගේ ආලේපය
36එක් පරිසියෙක් තමන් හා අහර ගැනීමට යේසුස්වහන්සේට ඇරියුම් කළේ ය. උන්වහන්සේ පරිසියාගේ ගෙට ඇතුල් ව, මේසයට හිඳගත් සේක. 37එවිට මෙන්න! පව්කාරියක වූ එපුර අඟනක්, උන්වහන්සේ පරිසියාගේ ගෙදර කෑමට වාඩි වූ වග දැන, සුවඳ විලවුන් පිරුණු කිරිගරුඬ බඳුනක් ගෙන එහි අවුත්, 38උන්වහන්සේගේ පාමුල, උන්වහන්සේ පිටුපසින් සිට හඬමින්, තම කඳුළින් උන්වහන්සේගේ පා තෙමන්නට වූවා ය. ඉන්පසු තම කෙස් වැටියෙන් ඒවා පිස දැමූ ඈ, උන්වහන්සේගේ පා සිඹ සිඹ සුවඳ දියර ගැල්වූවා ය.
39යේසුස්වහන්සේට ඇරියුම් කළ පරිසියා ඒ දැක, “මුන්නැහේ දිවැසිවරයෙක් නම්, තමන්ට මෙලෙස අත ගසන්නේ කවරෙක් ද, කෙබඳු කෙනෙක්දැයි දැනගත යුතුයි; මැය පව්කාරියකැ” යි තමාට ම කියා ගත්තේ ය.
40එවිට යේසුස්වහන්සේ ඔහු අමතා, “සීමොන්, ඔබට කියන්නට යමක් මට තිබේ යැ” යි කී සේක.
“කියන්න ගුරුතුමනි” යි ඔහු පැවසී ය.
41“මුදල් ණයට දෙන කෙනකුට ණයකරුවන් දෙදෙනෙක් සිටියා. කෙනෙක් ඩිනාරි#7:41 ඩිනාරියක් යනු කම්කරුවකුගේ දිනක වැටුපකි. (බලන්න මතෙ 20;2). පන්සියයක් ද අනෙකා පනහක් ද ණය ව සිටියා. 42ණය ගෙවන්නට ඔවුන්ට නො හැකි වූ නිසා දෙදෙනාගේ ම ණය ඔහු කපා හැරියා. මේ දෙන්නාගෙන් ඔහුට වඩා ප්‍රේම කරන්නේ කවුරු දැ?” යි ඇසූ සේක.
43සීමොන් පිළිතුරු දෙමින්, “මා හිතන්නේ වැඩියෙන් ණය බරින් නිදහස් වූ තැනැත්තා කියා යැ” යි පැවසී ය.
“ඔබේ නිගමනය නිවැරදියි” කී උන්වහන්සේ,
44ස්ත්‍රිය දෙසට හැරී, සීමොන් අමතමින්, “මැය ඔබට පෙනෙනවා නො වේ ද? මා ඔබේ ම ගෙදරට ආ නමුත්, මගේ පා සෝදන්නට ඔබ වතුර දුන්නේ නෑ. එනමුත් මෑ, ඇගේ කඳුළින් මගේ පා තෙමා, ඇගේ ම හිසකෙසින් ඒවා පිස දැමුවා. 45ඔබ, මා සිප ගත්තේ නෑ. එනමුත් මෑ, මෙහි ආ වේලේ පටන් නො නැවතීම මගේ පා සිප ගත්තා. 46ඔබ, මගේ හිසේ තෙල් ගැල්වූයේ නෑ. එනමුත් මෑ, සුවඳ පැනින් මගේ පා ආලේප කළා. 47එනිසා මා ඔබට කියන්නේ බොහෝ වූ ඇගේ පාප කමා කරන ලද වගයි; මන්ද ඈ බොහෝ සේ ප්‍රේම කළා; එසේ වුවත් ස්වල්ප වශයෙන් කමාව ලැබූ තැනැත්තා ප්‍රේම කරන්නේත් ස්වල්ප වශයෙනැ” යි පැවසූ සේක.
48ඉන්පසු උන්වහන්සේ ඒ ස්ත්‍රිය අමතමින්, “ඔබේ පාප කමා කරනු ලැබී යැ” යි පැවසූ සේක.
49එවිට කෑමට හිඳ සිටි අය ඔවුනොවුන් අතරේ කතා කරමින්, “පාප කමාව පවා දෙන මොහු කවරෙක් දැ?” යි පවසන්නට වන්හ.
50එහෙත් යේසුස්වහන්සේ ස්ත්‍රිය අමතා, “ඔබේ ඇදහිල්ල ඔබ ගැලවී ය; සාමයෙන් යන්නැ!” යි පැවසූ සේක.

선택된 구절:

ලූක් 7: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요