ලූක් 18

18
වැන්දඹුව හා විනිසකරු
1ඔවුන් අධෛර්ය නො වී, නිරතුරු යාච්ඤා කළ යුතු වග පෙන්වා දීමට යේසුස්වහන්සේ ඔවුන්ට මෙම උපමා කතාව පැවසූ සේක. 2“දෙවියන්වහන්සේට භය නො වූ, මිනිසුන් ගැන නො තැකූ විනිශ්චයකරුවෙක් පුරවරයක සිටියා. 3එපුරයේ ම විසූ වැන්දඹුවක් නිතර ඔහු වෙත අවුත්, ‘අනේ මගේ එදිරිකරුවාට විරුද්ධ ව මට යුක්තිය ඉටු කර දෙන්නැ’ යි කීවා.
4“කලක් ඔහු එය ප්‍රතික්ෂේප කළා. එහෙත් පසුව ඔහු කල්පනා කරමින්, ‘මා දෙවියන්වහන්සේට බය නැතත්, මිනිසුන් ගැන සැලකුවේ නැතත්, 5මේ වැන්දඹුව දිගට ම මට කරදර කරන නිසා, ඇය නො නැවතී ඇවිත් මා වෙහෙසීම නවතන පිණිස, ඇයට යුක්තිය ඉෂ්ට කර දෙනවා යැ’ යි කියා ගත්තා.”
6ස්වාමින්වහන්සේ කතා කරමින්, “මේ අධාර්මික විනිශ්චයකරු කියන දේට සවන් දෙන්න. 7රෑ දහවල් උන්වහන්සේගෙන් අයදින, උන්වහන්සේ ම තෝරා ගත්තවුන්ට දෙවියන්වහන්සේ යුක්තිය ඉටු කරන්නේ නැති ද? උන්වහන්සේ ඔවුන්ගේ අයැදුම් පමා කරන සේක් ද? 8මා ඔබට කියන්නේ, උන්වහන්සේ ඉක්මනින් ඔවුන්ට යුක්තිය ඉටු කරන බවයි. කෙසේ වෙතත්, මනුෂ්‍ය පුත්‍රයාණන් යළි පැමිණෙන කල, උන්වහන්සේට මිහි පිට ඇදහිල්ල සම්භ වේ දැ?” යි පැවසූ සේක.
පරිසියා හා අයකැමියා
9තමන් ධර්මිෂ්ඨයයි තමන් තුළ විශ්වාසය තබා, අන් අය සුළු කොට සලකන ඇතමකුට උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක. 10“මිනිසුන් දෙදෙනෙක් යාච්ඤා කරන පිණිස දේව මාලිගාවට ගියා. ඉන් කෙනෙක් පරිසිවරයෙක්. අනෙකා බදු අය කරන්නෙක්. 11පරිසියා නැගිට, තමා තුළ මෙසේ යාච්ඤා කළා: ‘දෙවියන්වහන්ස, මම වෙනත් මිනිසුන් මෙන් නො වන බැවින් ඔබට ස්තුති කරමි. මා පැහැර ගන්නෙක් හෝ අධර්මිෂ්ඨයෙක් හෝ නො වේ. පරදාරිකයෙක් ද නො වේ. මේ බදු අය කරන්නා වගේ ද නො වේ. 12මා සතියකට දෙවරක් උපවාසයේ යෙදෙනවා; මට ලැබෙන දෙයින් දසයෙන් කොටස ද දෙනවා’ යි කියා ගත්තා.
13“එහෙත් බදු අය කරන්නා ඈතින් සිටගෙන, ස්වර්ගය දෙස ඇස් ඔසවන්නටවත් නො සිතා, තම ළයට ගසා ගනිමින්, ‘දෙවියන්වහන්ස, පව්කාරයකු වූ මට අනුකම්පා කළ මැනව’ යි කීවා.
14“මා ඔබට කියන්නේ ධර්මිෂ්ඨ කරනු ලැබ, තම නිවසට ගියේ මේ මිනිසායි; අනෙකා නො වෙයි. මන්ද තමා ම උසස් කර ගන්නා පහත් කරනු ලැබේ. තමා ම පහත් කර ගන්නා උසස් කරනු ලැබේ යැ” යි පැවසූ සේක.
කුඩා ළමුන් හා යේසුස්වහන්සේ
15යේසුස්වහන්සේ ලවා අත් තබා ගන්නට, ඔවුන් ළදරුවන් උන්වහන්සේ වෙත ගෙන ආහ. ඒ දුටු ගෝලයෝ ඔවුන්ට තරවටු කළහ. 16එහෙත් යේසුස්වහන්සේ ඔවුන් තමා වෙත කැඳවමින්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න. ඔවුන් වළක්වන්න එපා. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු වූවන්ගේයි. 17සැබවින් ම මා ඔබට කියන්නේ, යමෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුඩා දරුවකු මෙන් පිළිගන්නේ නැති නම්, ඔහු කිසි සේත් ම එහි ඇතුළු වන්නේ නැතැ” යි පැවසූ සේක.
ධනවතා සහ දෙවියන්වහන්සේගේ රාජ්‍යය
18එක් අධිපතියෙක් උන්වහන්සේ අමතමින්, “යහපත් ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.
19යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත් ය කියා ඔබ මා අමතන්නේ ඇයි? දෙවියන්වහන්සේ හැර, අන් කිසිවෙක් යහපත් නො වේ. 20‘පරදාර සේවනයේ නො යෙදෙනු, මිනී නො මරනු, සොරකම් නො කරනු, බොරු සාක්ෂි නො කියනු, පියාට හා මවට ගරු කරනු’#18:20 නික්ම 20:12-16; ද්වි 5:16-20 යන ආඥා ඔබ දනිතැ” යි පැවසූ සේක.
21ඔහු ඊට පිළිතුරු දෙමින්, “යොවුන් වියේ පටන් මම ඒ සියල්ල පිළිපැද ඇත්තෙමි” යි කීවේ ය.
22යේසුස්වහන්සේ ඒ අසා, “ඔබට තවමත් එක් දෙයක් අඩුයි. ඔබ සතු හැම දෙයක් ම විකුණා දිළිඳුන්ට බෙදා දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත; ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.
23ඒ ඇසූ කල, ඒ මිනිසා දැඩි සොවට පත් විය. මන්ද ඔහු බොහෝ ධනවත් ව සිටි බැවිනි. 24යේසුස්වහන්සේ ඔහු දෙස බලා, “ධනවතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු ද? 25ධනවතකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා, ඔටුවකුට ඉඳිකටු සිදුරින් රිංගා යෑම පහසු යැ” යි පැවසූ සේක.
26එවිට ඒ ඇසූ අය, “එසේ නම් ගැලවෙන්නට හැක්කේ කවරකුට දැ?” යි ඇසූහ.
27“මිනිසුන්ට නො හැකි දේ දෙවියන්වහන්සේට හැකි යැ” යි උන්වහන්සේ කී සේක.
28එවිට පේතෘස් කතා කොට, “අප ඔබ අනුව ආවේ, අපට තිබූ සියල්ල අත්හැර දමලා” යි කීවේ ය.
29ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ; දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා, ගේ-දොර හෝ භාර්යාව හෝ සහෝදරයන් හෝ මාපියන් හෝ දරුවන් හෝ අත් හළ කවරෙක් වුව ද, 30මේ ජීවිතයේදී ඊට වඩා කීප ගුණයක් වැඩියෙන් ද මතු උදා වන යුගයේදී සදාතන ජීවනය ද නො ලබා නො සිටින්නේ යැ” යි පැවසූ සේක.
මරණය ගැන තෙවැනි අනාවැකිය
31යේසුස්වහන්සේ දොළොස් දෙනා පසෙකට කැඳවා, “අප දැන් යන්නේ යෙරුසලමටයි; මනුෂ්‍ය පුත්‍රයාණන් ගැන දිවැසිවරුන් විසින් ලියන ලද හැම දෙයක් ම සම්පූර්ණ විය යුතුයි. 32උන්වහන්සේ විදේශීන් අතට පාවා දෙනු ලැබ, සරදම් කරනු ලැබ, ලජ්ජා සහගත ව සලකනු ලැබ, කෙළ ගසනු ලබයි; 33ඔවුන් උන්වහන්සේට කස පහර දී, මරා දමනු ඇත. තුන් වන දවසේ උන්වහන්සේ නැවත නැගිටිනු ඇතැ” යි පැවසූ සේක.
34ඒ කී කිසිවක් ඔවුන්ට වැටහුනේ නැත. ඒ කියමන ඔවුන්ගෙන් සැඟවී තිබූ බැවින්, කියන ලද කිසිවක් ඔවුන්ට වැටහුනේ නැත.
අන්ධයාගේ ඇදහිල්ල
35උන්වහන්සේ යෙරිකෝවට ළඟා වූ කල, අන්ධ මිනිහෙක් පාර අයිනේ හිඳ, සිඟමින් සිටියේ ය. 36තමන් පසු කර සමූහයක් යනු ඇසී, ඒ කුමක් දැයි ඔහු විමසී ය. 37“නාසරෙත්හි යේසුස්වහන්සේ මෙතැන පසු කර යති” යි ඔවුහු ඔහුට කීහ.
38එවිට ඔහු, “යේසුස්වහන්ස, දාවිත්ගේ පුත්‍රයාණෙනි, අනේ මට කරුණා කළ මැනව” යි මොර ගැසී ය.
39පෙරටුවෙන් ගමන් කළෝ නිශ්ශබ්ද වන ලෙස ඔහුට තරවටු කළෝ ය. එහෙත් ඔහු වඩ වඩා හඬ නගමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කළ මැනව” යි මොර ගැසී ය.
40යේසුස්වහන්සේ නැවතී, ඔහු තමන් වෙත පමුණු වන්නට අණ කළ සේක. ඔහු තමන් අසලට ආ කල, ඔහු ඇමතූ උන්වහන්සේ, 41“මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි ඇසූ සේක.
“ස්වාමිනි, මට යළි පෙනීම ලබන්නට ඕනෑ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
42එවිට යේසුස්වහන්සේ, “ඔබේ පෙනීම ලබන්න; ඔබේ ඇදහිල්ල ඔබ සුව කළේ යැ” යි කී සේක. 43එකෙණෙහි ම ඇස් පෙනීම ලද ඔහු උන්වහන්සේ අනුව ගියේ දෙවියන්වහන්සේට මහිමය දෙමිනි. ඒ දුටු මුළු මහත් ජනයා ද දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝ ය.

선택된 구절:

ලූක් 18: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요