ලූක් 10

10
හැත්තෑදෙදෙනකු යැවීම
1මෙයින් පසු ස්වාමින්වහන්සේ තවත් හැත්තෑදෙදෙනකු#10:1 සමහර පිටපත්වල සැත්තෑදෙනකු ලෙස සඳහන් වෙයි පත් කර, උන්වහන්සේ යෑමට අදහස් කළ සියලු නගර හා පෙදෙස් කරා දෙදෙනා බැගින් තමන්ට පෙරටුව ඔවුන් පිටත් කළ සේක. 2උන්වහන්සේ ඔවුන් අමතමින්, “අස්වැන්න අධිකයි; එහෙත් සේවකයින් ඇත්තේ ස්වල්ප දෙනයි. එබැවින් තමාගේ අස්වනු නෙළීමට සේවකයින් එවන ලෙස අස්වැන්නේ ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. 3යන්න! මා දැන් ඔබ පිටත් කර යවන්නේ, වෘකයින් මැදට බැටළු පැටවුන් ලෙසයි. 4මුදල් පසුම්බියක් හෝ ගමන් මල්ලක් හෝ පාවහන් හෝ නො ගෙන, පිටත් වන්න. මඟදී හමුවන කිසිවකුට ආචාර නො කරන්න.
5“යම් නිවසකට ඇතුළු වන කල, පළමු ව, ‘මේ නිවසට සාමය වේවා!’ යි කියන්න. 6සාමයේ පුතකු ඒ නිවසේ සිටී නම්, ඔබගේ සාමය ඔහු පිට රඳනු ඇත. එසේ නො වේ නම්, එය ආපසු ඔබ වෙත එනු ඇත. 7කෑමට, බීමට ඔවුන් දෙන දෙයක් ගෙන, එහිම නවාතැන් ගන්න. මන්ද සේවකයා ඔහුගේ ගාස්තුව ලබන්නට සුදුසු ය; ගෙන් ගෙට මාරු නො වන්න.
8“යම් නගරයකට ඇතුළු වන කල, ඔවුන් ඔබ පිළිගත් විට, ඔබ ඉදිරියේ තබන දෙයක් භුක්ති විඳින්න. 9එහි සිටින රෝගීන් සුව කර, ‘දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබට ළං ව ඇතැ’ යි ඔවුන්ට කියන්න. 10එහෙත් ඔබ යම් නගරයකට ඇතුළු වූ කල, ඔවුන් ඔබ නො පිළිගැනේ නම්, එහි වීදිවලට ගොස්, 11‘අපේ පා වැකුණු ඔබේ නගරයේ දූලි පවා ඔබට එරෙහිව මෙසේ ගසා දමන්නෙමු. කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළං ව ඇති බව දැනගන්නැ’ යි ඔවුන්ට කියන්න. 12මා ඔබට කියන්නේ, ඒ දවසේදී එම නගරයට වඩා සොදොමට දැරිය හැකි වන බවයි.
13“අහෝ කොරාසීනය, ඔබට වන විපතක මහත! අහෝ බෙත්සයිදා, ඔබට වන විපතක මහත! මන්ද නුඹ දෙපොලේ කරන ලද බලවත් ක්‍රියා තීර් හා සීදොන්හි දී කරන ලද නම්, මීට බොහෝ කලින් ඔවුන් ගෝණි රෙදි හැඳ, අළු මත හිඳ, පසුතැවිලි වන්නට තිබිණි. 14එනමුත් විනිශ්චය දවසේ ඔබට වඩා තීර් හා සීදොන්වලට දැරිය හැකි වනු ඇත. 15එම්බා කපර්ණවුම! නුඹ ස්වර්ගය දක්වා උසස් කරනු ලැබේ ද? නැත! නුඹ පාතාලය#10:15 ග්‍රීක් බසින් හේදිසිය වේ. දක්වා පහත් කරනු ලබනු ඇත.
16“ඔබට සවන් දෙන්නා, මට සවන් දෙයි. ඔබ ප්‍රතික්ෂේප කරන්නා, මා ප්‍රතික්ෂේප කරයි. මා ප්‍රතික්ෂේප කරන්නා, මා එවූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කරයි” යනුවෙන් පැවසූ සේක.
17ප්‍රීතියෙන් පෙරළා පැමිණි හැත්තෑදෙදෙන, “ස්වාමිනි, ඔබගේ නාමයෙන් යක්ෂාත්ම පවා අපට යටත් වෙනවා” යි කීහ.
18උන්වහන්සේ පිළිතුරු දෙමින්, “සාතන් අකුණක් සේ අහසින් ඇද වැටෙනු මා දැක්කා. 19ඔන්න, සර්පයින් හා ගෝනුස්සන් පාගා දමන්නටත්, සතුරාගේ ශක්තිය මුළුමනින් මැඩලන්නටත්, මා ඔබට බලය දී තියෙනවා. කිසිවකින් ඔබට අනතුරු නො වේ. 20කෙසේ වෙතත් ඒ යක්ෂාත්ම ඔබට යටත් වන නිසා ප්‍රීති නො වී, ඔබගේ නාම ස්වර්ගයේ ලියවී ඇති නිසා ප්‍රීති වන්නැ” යි පැවසූ සේක.
21ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ප්‍රමෝදයෙන්, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින්, මම ඔබට ස්තුති කරමි. එසේය පියාණෙනි, ඔබගේ ප්‍රිය මනාපය වූයේ එයයි.
22“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේ ම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුදැයි හඳුනන්නේ නැතැ” යි පැවසූ සේක.
23ඉන්පසු තම ගෝලයින් වෙත හැරුණු උන්වහන්සේ පෞද්ගලික ව ඔවුන් අමතමින්, “ඔබ දකින දේ පෙනෙන ඇස් භාග්‍යවත්! 24මන්දැයි මා ඔබට කියන්නම්; බොහෝ දිවැසිවරුන් හා රජවරුන් ඔබ දකින දේ දකින්නට ආශා කළත්, එය දුටුවේ නැත. ඔබ අසන දේ අසන්නට ආශා කළත්, ඔවුන් එය ඇසුවේ නැතැ” යි පැවසූ සේක.
යහපත් සමාරිතයයා
25එවිට මෙන්න! දහම් පඬිවරයෙක් යේසුස්වහන්සේ පරීක්ෂා කරන්නට නැගිට, “ගුරුතුමනි, සදාතන ජීවනය උරුම කර ගන්නට, මා කුමක් කළ යුතු දැ?” යි ඇසී ය.
26“උන්වහන්සේ පිළිතුරු දෙමින්, ව්‍යවස්ථාවේ ලියා ඇත්තේ කුමක් ද? ඔබ එය කියවන්නේ කොහොම දැ?” යි ඇසූ සේක.
27ඔහු පිළිතුරු දෙමින්, “ ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ඔබේ මුළු බුද්ධියෙන් ද ප්‍රේම කරන්න#10:27 ද්වි 6;5’ සහ ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්නැ’#10:27 ලෙවී 19;18 යි” කීවේ ය.
28එවිට උන්වහන්සේ, “ඔබේ පිළිතුර නිවැරදියි; එලෙස කරන්න; එවිට ඔබ ජීවත් වනු ඇතැ” යි ඔහුට පැවසූ සේක.
29එහෙත් ඔහු තම නිදොස් බව දක්වන්නට කැමති ව, “කවුරු ද මගේ අසල්වැසියා?” යි යේසුස්වහන්සේගෙන් ඇසී ය.
30යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “එක් මිනිහෙක් යෙරුසලමේ සිට යෙරිකෝව බලා යමින් සිටියදී, මංකොල්ලකරුවනට හසුවුණා. මංකොල්ලකරුවෝ, ඔහු නිර්වස්ත්‍ර කොට, ඔහුට තළා-පෙළා, නො මරා මරා, හැර ගියා. 31පූජකයකුට ඒ මගෙහි ම යන්නට සිදු වුණා. පූජකයා ඔහු දුටු කල, පාරේ අනෙක් පැත්තෙන් ඔහු මග හැර ගියා. 32ලෙවීයයෙක් ද එලෙස ම එතැනට පැමිණ, ඒ මිනිහා දැක, පාරේ අනෙක් පැත්තෙන් ගියා. 33එහෙත් ඒ මගේ ආ එක් සමාරිය මිනිහෙක් ඒ මිනිසා වැටී සිටි තැනට ළඟා වූ කල, ඔහු දැක අනුකම්පා උපදවා, 34ඔහු අසලට ම ගියා. ඒ මිනිසාගේ තුවාලවල තෙල් හා මිදි යුෂ ගල්වා, ඒවා වෙළූ ඔහු, තමා නැගී ආ සිව්පාවා පිට ඔහු හිඳුවා, තානායමකට ගෙන ගොස්, ඔහු බලා ගත්තා. 35පසු දින ඔහු ඩිනාරි දෙකක් ගෙන තානායම්කරුට දී, ‘මොහු බලා ගන්න; මීට වඩා මුදලක් වැය වෙතොත් මා ආපසු එන විට එය ඔබට ගෙවන්නම්’ කීවා.
36“ඔබ සිතන්නේ කුමක් ද? මංකොල්ලකරුවන් අතට අසු වූ තැනැත්තාට අසල්වැසියා වූයේ මේ තිදෙනාගෙන් කවුරු දැ?” යි ඇසූ සේක.
37“ඔහුට දයාව පෑ තැනැත්තා යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
“ඔබත් ගොස්, එලෙස ම කරන්නැ” යි යේසුස්වහන්සේ ඔහුට කී සේක.
මාර්තා සහ මරියා
38ඔවුන් යන මාර්ගයේ යද්දී, යේසුස්වහන්සේ එක් ගමකට පැමිණි කල, මාර්තා නම් වූ ස්ත්‍රියක් තම නිවසට උන්වහන්සේ පිළිගත්තා ය. 39මරියා නම් වූ ඇගේ සහෝදරිය, ස්වාමින්වහන්සේගේ පාමුල හිඳ, උන්වහන්සේ කී දෑ අසා සිටියා ය. 40එහෙත් සත්කාර බොහොමයක් ගැන සිත් කලබල කර ගත් මාර්තා, ස්වාමින්වහන්සේ වෙත පැමිණ, “ස්වාමිනි, මගේ සහෝදරිය මේ සියලු වැඩ මා විසින් තනි ව කරන්නට හැර, පැත්තකට වී සිටින හැටි ඔබ සලකන්නේ නැති ද? මට උදවු කරන්න කියා ඇයට කියන්නැ” යි කීවා ය.
41එහෙත් ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කනස්සලු වෙමින්, නො සන්සුන් වෙලා. 42එනමුත් අවශ්‍ය වන්නේ එක් දෙයයි. මරියා තෝරා ගෙන ඇත්තේ වඩා හොඳ කොටසයි. ඒ දේ ඈ කෙරෙන් පැහැර ගනු ලබන්නේ නැතැ” යි ඇයට කී සේක.

선택된 구절:

ලූක් 10: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요