උත්පත්ති 38

38
යූදා සහ තාමාර්
1එකල, යූදා තම සහෝදරයින්ගෙන් වෙන් ව, අදුල්ලාම්හි හීරා නම් මිනිසකු වෙත නැවතී සිටින්නට බැස ගියේ ය. 2එහිදී ෂුවා නම් වූ කානානි මිනිසකුගේ දියණියක යූදාට හමු විය. ඔහු ඇය ආවාහ කර ගෙන ඇය හා එක් වුණේ ය. 3ඈ ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඔහුට ඒර් යැයි නම් තබන ලදී. 4ඈ යළි ගැබ් ගෙන, තවත් පුතකු බිහි කර, ඔහුට ඕනාන් යැයි නම් තැබුවා ය. 5ඈ යළිත් පුතකු බිහි කර, ඔහුට ෂේලා යයි නම් තැබුවා ය. ඇය ඔහු බිහි කළේ කෙසීබ්හි දී ය.
6යූදා තම කුලුඳුලා වන ඒර්ට බිරිඳක ගෙන දුන්නේ ය. ඇගේ නම තාමාර් ය. 7එහෙත් යූදාගේ කුලුඳුලා වූ ඒර් ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ට වූ බැවින්, ස්වාමින්වහන්සේ ඔහු නැසූ සේක.
8එකල යූදා, ඕනාන්ට කතා කොට, “ඔබේ සහෝදරයාගේ නම ගෙන යන දරුවන් උපද්දන පිණිස, ඔබේ සහෝදරයාගේ බිරිඳ සමඟ සයනය කර, මස්සිනා කෙනකුගේ යුතුකම ඇයට ඉටු කරන්නැ” යි කීවේ ය. 9එහෙත් එම දරුවන් තමාගේ යැයි ගණන් ගැනෙන්නේ නැති වග ඕනාන් දත්තේ ය. එබැවින් ඔහු, තම සොහොයුරාගේ බිරිඳ හා සයනය කළ කවර විටෙක වුව, තම සහෝදරයාට වංශයක් ඇති නො වන සේ, එය බිම වැගිරවී ය. 10ඔහු කළ දේ ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ට වූ බැවින්, උන්වහන්සේ ඔහු ද නැසූ සේක.
11එවිට යූදා තම ලේළිය අමතමින්, “මගේ පුත්‍ර ෂේලා වයසින් වැඩෙන තෙක්, ඔබේ පියාගේ ගෙදර වැන්දඹුවක සේ කල් යවන්නැ” යි කීවේ ය. මන්ද, ඔහු මෙසේ කීවේ, “ඔහුගේ සහෝදරයින් මෙන් ඔහුත් මිය යනු ඇතැ” යි ඔහු සිතූ නිසා ය. එබැවින් තාමාර් තම පියාගේ ගෙදර ගොස්, එහි වාසය කරන්නට වන්නී ය.
12දිගු කලකට පසු, යූදාගේ බිරිඳ වූ ෂුවාගේ දියණිය මියැදුණා ය. ශෝක වීමේ කාලය ගෙවුණු පසු, යූදා තම බැටළුවන්ගේ ලොම් කපන මිනිසුන් වෙත තිම්නාවට ගියේ ය. ඔහුගේ මිතුරා වූ අදුල්ලාම්හි හීරා ද ඔහු සමඟ විය.
13එවිට, “අන්න, ඔබේ මාමණ්ඩිය ඔහුගේ බැටළුවන්ගේ ලොම් කපන්නට තිම්නා බලා යතැ” යි තාමාර්ට දන්වනු ලැබිණ. 14එකල තම කනවැන්දුම් ඇඳුම් ඉවත ලා, මුහුණු වැස්මකින් මුහුණ වසා, වෙස්වළාගත් ඈ, තිම්නාවට දිවෙන මගෙහි වූ ඒනයිම් පුර දොරකඩ හිඳ ගත්තා ය. ඇය එසේ කළේ, ෂේලා ඒ වන විට වැඩිවියට පැමිණ සිටි නමුදු, ඇය ඔහුට බිරිඳ කොට නො දුන් බැව් ඇය දුටු නිසා ය.
15යූදා ඇය දැක, ඇය මුහුණ වසා සිටි බැවින් ඈ වෙසඟනකැ යි සිතුවේ ය. 16ඇය තමාගේ ලේළිය බැව් ඔහු නො දත්තේ ය. ඔහු පාර අයිනේ සිටි ඇය වෙත ගොස්, “එන්න; මට ඔබේ පහස ලබන්නට ඕනෑ” යි ඇය කැඳවී ය.
“මගේ පහස ලබන්නට ඔබ මට මොනවද දෙන්නේ?” යි ඈ ඇසුවා ය. ඔහු පිළිතුරු දෙමින්,
17“මගේ ගාලෙන් මම ඔබට එළු පැටවකු එවන්නම්” යි කීවේ ය.
එවිට ඈ, “ඔබ ඌ එවන තුරු ඇපයක් වශයෙන් මට යමක් දෙනවා දැ?” යි ඇසුවා ය.
18ඔහු පිළිතුරු දෙමින්, “මා ඔබට දිය යුත්තේ කවර ඇපයක් දැ?” යි ඇසී ය.
ඈ පිළිතුරු දෙමින්, “ඔබේ මුද්‍රාවත්, එය බැඳි පටියත්, ඔබ අත ඇති සැරයටියත්” යැයි කීවා ය. එවිට ඔහු ඒවා ඇයට දී, ඇය හා සයනය කළේ ය. ඈ, ඔහු නිසා ගැබ් ගත්තා ය. 19ඉන්පසු ඈ නැගිට, පිටත් ව ගියා ය. තම මුහුණු වැස්ම ඉවත් කළ ඈ, තම වැන්දඹු-ඇඳුම් යළි ඇඟ ලා ගත්තා ය.
20මේ අතර යූදා එම ස්ත්‍රිය වෙතින් තම ඇපය ආපසු ලබාගන්නා පිණිස, අදුල්ලාම් වාසී තම මිතුරා අත එළු පැටවකු යැවී ය. එහෙත් ඔහුට ඇය හමු වූයේ නැත. 21එබැවින් ඒ පෙදෙසේ විසූවන්ගෙන් ඒ ගැන විමසූ ඔහු, “ඒනයිම් මග අද්දර සිටි දේවාල වෙසඟන කොහේ දැ?” යි ඇසී ය.
එහෙත් ඔවුන්ගේ පිළිතුර වූයේ, “දේවාල වෙසඟනක මෙහි සිටියේ නැත” යන්න ය.
22එබැවින් ඔහු යූදා වෙත ආපසු ගොස්, “මට ඇය හමු වුණේ නැහැ. ඇරත්, එහි වෙසෙන මිනිසුන් කීවේ, කිසි ම වෙසඟනක එහි සිටියේ නැති බව යැ” යි පැවසී ය.
23එවිට යූදා, “ඈ ළඟ ඇති දෑ ඈ තබා ගත්තා වේ. නැතහොත් අප සිනහවට ලක් විය හැකියි. කෙසේ වෙතත්, මා මෙම එළු පැටවා ඇයට යැව්වා. එහෙත්, ඔබට ඇය හමු වී නැතැ” යි කීවේ ය.
24තුන් මසකට පමණ පසු, “ඔබේ ලේළිය, තාමාර් වේශ්‍යාකම් කර අන්න! වේශ්‍යාකමින් ගැබ් ගෙන ඇතැ” යි යූදාට දන්වනු ලැබී ය.
එවිට යූදා, “ඇය පිටතට ගෙනැවිත් පුලුස්සා දමනු” යි කීවේ ය.
25මෙසේ ඇය පිටතට ගෙන එනු ලබද්දී, ඈ තම මාමණ්ඩිට පණිවුඩයක් යවමින්, “මා ගැබ් ගෙන ඇත්තේ මේ දෑ අයිති මිනිසාගෙන්. මේ මුද්‍රාවත්, එය බැඳි පටියත්, මේ සැරයටියත් කවරකුගේ ද කියා ඔබට හැඳිනිය හැකි දැ?” යි පැවසුවා ය.
26යූදා ඒවා හැඳින්නේ ය. ඔහු කතා කරමින්, “ඈ මට වඩා ධර්මිෂ්ඨයි. මොකද, මා මගේ පුතු ෂේලාට ඇය බිරිඳ කොට නුදුන් නිසා යැ” යි කීවේ ය. ඔහු ඉන්පසු ඇය හා සයනය කළේ නැත.
27ඇගේ ප්‍රසව කාලය පැමිණි කල, ඇගේ කුස තුළ නිවුන් දරු දෙදෙනෙක් සිටියහ. 28ප්‍රසූත අවස්ථාවේ ඒ දෙදෙනාගෙන් කෙනෙක් අතක් පිටතට දැමී ය. එවිට වින්නඹුව රතු නූල් පොටක් ගෙන, ඔහුගේ අතේ බැඳ, “පළමු ව ආවේ මොහු” යි කීවා ය. 29එහෙත් ඔහු තම අත ආපසු ඇදගත් කල, ඔහුගේ සහෝදරයා බිහි විය. එවිට ඈ, “නුඹ බිඳගෙන ආ හැටි යසයි” කීවා ය. ඔහුට පෙරෙස්#38:29 පෙරෙස් එනම් බිඳීම යන නම තබන ලදී. 30ඉන්පසු රතු නූල අත බැඳි ඔහුගේ සහෝදරයා බිහි විය. ඔහුට සෙරා#38:30 සෙරා එනම් රක්ත වර්ණය යන නම තබන ලදී.

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

උත්පත්ති 38 동영상