උත්පත්ති 35

35
බෙතෙල්හි දෙවියන්වහන්සේ
1දෙවියන්වහන්සේ යාකොබ්ට කතා කොට, “නැගිට, බෙතෙල්ට නැගී ගොස්, එහි පදිංචි වන්න. ඔබේ සහෝදර ඒසව් වෙතින් ඔබ පලා යද්දී, ඔබට පෙනුණු දෙවියන්වහන්සේට එහි පූජාසනයක් ගොඩ නගන්නැ” යි කී සේක.
2එබැවින් යාකොබ් තමාගේ පවුලේ අය ද තමා සමඟ සිටි සෙසු සියල්ලන් ද අමතමින්, “ඔබ අතරේ ඇති විදෙස් දෙවිවරුන් ඉවතලන්න. පවිත්‍ර වී, ඔබේ ඇඳුම් මාරු කර ගන්න. 3එන්න, අපි බෙතෙල් වෙත නැගී යමු. මගේ විපත්ති දවස්හි මට පිළිතුරු දුන්නා වූ ද මා ගිය ගිය තැන මා සමඟ ම සිටියා වූ ද දෙවියන්වහන්සේට මම එහි පූජාසනයක් ගොඩ නගන්නෙමි” යි කීවේ ය. 4එවිට ඔවුහු තමන් ළඟ තිබූ විදෙස් දේව පිළිම සියල්ල ද තම කන්වල වූ ආභරණ ද යාකොබ්ට දුන්හ. ඔහු ඒවා ෂෙකෙම් අසල වූ ඒලා ගස යට වැළලී ය. 5ඉන්පසු ඔවුහු ගමන් ඇරඹූහ. ඔවුන් වටා වූ නගර පිට දෙවියන්වහන්සේගෙන් වූ භීතියක් පතිත වූයෙන්, කිසිවකුත් යාකොබ් පුත්‍රයින් ලුහුබැඳ ගියේ නැත.
6යාකොබ් ද තමා සමඟ වූ සියලු දෙනා ද කානාන් දේශයේ ලූස් හෙවත් බෙතෙල් වෙත ආවෝ ය. 7ඔහු පූජාසනයක් එහි ගොඩ නගා, එතැනට ඒල්-බෙතෙල්#35:7 ඒල්-බෙතෙල් එනම් බෙතෙල්හි දෙවියන්වහන්සේ යන නම තැබී ය. මන්ද ඔහු තම සහෝදරයා වෙතින් පලා යද්දී, දෙවියන්වහන්සේ ඔහුට එළිදරවු වූයේ එතැනදී ය.
8රෙබෙකාගේ කිරි මව වූ දෙබොරා මිය ගියෙන්, බෙතෙල්වලට පහළින් වූ ආලෝන් ගහ යට ඈ වළලනු ලැබුවා ය. එය ආලෝන්-බාකුත්#35:8 ආලෝන්-බාකුත් එනම් වැලපීමේ ආලෝන් වෘක්ෂය යනුවෙන් නම් තැබිණි.
9යාකොබ් පදන්-අරාම්හි සිට ආපසු පැමිණි පසු, දෙවියන්වහන්සේ ඔහුට යළි පෙනුණු සේක්, ඔහුට ආශිර්වාද කළ සේක. 10දෙවියන්වහන්සේ ඔහු අමතා, “ඔබේ නම යාකොබ් ය. එහෙත් යාකොබ් නමින් මින් මතු ඔබ අමතනු ලබන්නේ නැත. ඔබේ නම ඉශ්‍රායෙල් වන්නේ යැ” යි කී සේක. මෙසේ උන්වහන්සේ ඔහුට ඉශ්‍රායෙල් යන නම තැබූ සේක.
11තවද දෙවියන්වහන්සේ ඔහු අමතමින්, “මම සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ය. සඵල වී, ගණනින් වැඩි වර්ධන වන්න. ජාතියක් ද ජාතීන් සමූහයක් ද ඔබගෙන් පැවත එනු ඇත. රජවරුන් ද ඔබගෙන් බිහිවනු ඇත. 12ආබ්‍රහම්ටත්, ඊසාක්ටත් මා දුන් දේශය, මම ඔබට දෙන්නෙමි. ඔබගෙන් පසු මේ දේශය ඔබගෙන් පැවත එන්නන්ට දෙන්නෙමි” යි පැවසූ සේක. 13ඉන්පසු දෙවියන්වහන්සේ ඔහු සමඟ කතා කළ තැනදී ඔහු වෙතින් නැගී ගිය සේක.
14තමා සමඟ දෙවියන්වහන්සේ කතා කළ ස්ථානයේ ගල් කුලුනක් සිට වූ යාකොබ් පාන පූජාවක් ඒ පිට වැගිරවී ය. ඔහු ඒ මත තෙල් ද වත් කළේ ය. 15දෙවියන්වහන්සේ තමා සමඟ කතා කළ ස්ථානයට යාකොබ්, බෙතෙල් යන නම තැබී ය.
රාඛෙල්ගේ හා ඊසාක්ගේ මරණ
16ඉන්පසු ඔවුහු බෙතෙල් වෙතින් නික්මුණහ. එෆ්‍රාතාවලට ළඟා වීමට මද දුරක් තිබියදී, රාඛෙල් දරු ප්‍රසූතියට ළං වී, දැඩි සේ වේදනා වින්දා ය. 17ඇය දරු ප්‍රසූතියේ දැඩි රුජා විඳියදී ඇය ඇමතූ වින්නඹුව, “භය නො වන්න. මෙන්න ඔබට තවත් පුතෙක්” කීවා ය. 18පණ අදිමින් සිටි ඈ, අවසන් හුස්ම හෙළමින් තම පුතුට බෙන්-ඕනි#35:18 බෙන්-ඕනි එනම් මගේ දුකේ පුත්‍රයා යි නම් තැබුවා ය. එහෙත් ඔහුගේ පියා ඔහු බෙන්යමින්#35:18 බෙන්යමින් එනම් මගේ දකුණතේ පුත්‍රයා යැයි නම් කළේ ය.
19මෙසේ රාඛෙල් මියැදුණා ය. ඇය භූමදාන කරන ලද්දේ එෆ්‍රාතා හෙවත් බෙත්ලෙහෙම් වෙත යන මාවතේ ය. 20යාකොබ් ඇගේ සොහොන මත සැමරුම් කණුවක් සිටුවී ය. එම කණුව අද දක්වාත් රාඛෙල්ගේ සොහොනේ සිහිවටනයයි.
21ඉශ්‍රායෙල් යළි ගමන් කොට, මිග්දාල්-ඒදෙර්වලට එහායින් තම කූඩාරම ගසා ගත්තේ ය. 22ඉශ්‍රායෙල් එපෙදෙසේ වාසය කරන සමයේ, රූබෙන් ගොස්, තම පියාගේ අතිරේක බිරිඳ වූ බිල්හා සමඟ සයනය කළේ ය. ඉශ්‍රායෙල්ට ඒ වග දැනගන්නට ලැබිණ.
යාකොබ්ට පුතුන් දොළොස් දෙනෙක් වූහ:
23ලෙයාගේ පුත්‍රයෝ:
යාකොබ්ගේ කුලුඳුලා වූ රූබෙන්,
සිමියොන්, ලෙවී, යූදා, ඉස්සාකර් හා සාබුලොන් ය.
24රාඛෙල්ගේ පුත්‍රයෝ:
යෝසෙප් හා බෙන්යමින්.
25රාඛෙල්ගේ සේවිකාව වූ බිල්හාගේ පුත්‍රයෝ:
දාන් සහ නෆ්තලී.
26ලෙයාගේ සේවිකාව වූ සිල්පාගේ පුත්‍රයෝ:
ගාද් හා ආෂෙර්.
පදන්-අරාම්හි දී යාකොබ්ට දාව උපන් පුත්තු ඔවුහු ය.
27යාකොබ්, කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් අසල මම්රේහි තම පියා වූ ඊසාක් වෙත ආයේ ය. ආබ්‍රහම් ද ඊසාක් ද වාසය කොට තිබුණේ එහි ය. 28ඊසාක් අවුරුදු එකසිය අසූවක් වාසය කළේ ය. 29ඔහු හොඳ මහලු වයසේ අවසන් හුස්ම හෙළා, මියැදුණෙන්, මිය ගිය තම ජනයා අතරට එක්කරන ලද්දේ ය. ඔහුගේ පුතුන් වූ ඒසව් හා යාකොබ් ඔහු භූමදාන කළහ.

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

උත්පත්ති 35 동영상