උත්පත්ති 33

33
යාකොබ්, ඒසව් හමුවීම
1යාකොබ් නෙත් ඔසවා, බැලූ විට මෙන්න! ඒසව් ඔහුගේ මිනිසුන් හාරසියය සමඟ පැමිණෙමින් සිටිනු දිටී ය. එබැවින් යාකොබ්, ලෙයා ද රාඛෙල් ද සේවිකාවන් දෙදෙනා ද අතරේ දරුවන් බෙදී ය; 2ඔහු සේවිකාවන් හා ඔවුන්ගේ දරුවන් ඉදිරියෙන් ම ද ලෙයා හා ඇගේ දරුවන් ඊළඟට ද රාඛෙල් හා යෝසෙප් පිටුපසින් ද සිටුවා, 3ඔවුන්ට ඉස්සර වී, පෙරට යමින්, තම සහෝදරයා වෙත ළඟා වෙමින්, හත් වාරයක් බිමට නැමී, වැන්දේ ය.
4එහෙත් ඒසව් ඔහු හමුවට දුවගෙන ඇවිත්, ඔහු වැලඳ, ඔහුගේ ගෙල බදා, සිප ගත්තේ ය. ඉන්පසු ඔවුහු හඬන්නට වන්හ. 5පසුව ඒසව් නෙත් ඔසවා බලා, ස්ත්‍රීන් ද දරුවන් ද දැක, “ඔබ සමඟ සිටින මොවුන් කවුරු දැ?” යි ඔහු ඇසී ය.
යාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේ දයාන්විත ව ඔබේ සේවකයාට දුන් දරුවන් යැ” යි කීවේ ය.
6ඉන්පසු සේවිකාවෝ ද ඔවුන්ගේ දරුවෝ ද ළං වී, බිමට නැමී වැන්දෝ ය. 7ඊළඟට ලෙයා හා ඇගේ දරුවෝ ළං වී, බිමට නැමී වැන්දෝ ය. සැමට පසු යෝසෙප් හා රාඛෙල් ද බිමට නැමී වැන්දෝ ය.
8ඒසව් කතා කොට, “මට හමු වූ මේ රංචු සියල්ල කුමක් සඳහා දැ?” යි ඇසී ය.
“මගේ ස්වාමියා හමුවේ ප්‍රසාදය ලබන පිණිස යැ” යි යාකොබ් උත්තර දුන්නේ ය.
9එවිට ඒසව්, “ඕන තරම් මට තියෙනවා මා සහෝදරය, ඔබට ඇති දෑ ඔබ ම තියා ගන්නැ” යි කීවේ ය.
10එහෙත් යාකොබ් ඇවිටිලි කරමින්, “නැහැ; එසේ නො වෙයි. ඔබ හමුවේ ප්‍රසාදය ලැබෙනවා නම්, මා අතින් මේ තෑග්ග පිළිගන්න. මන්ද ඔබගේ මුහුණ දැකීම, දෙවියන්වහන්සේගේ මුහුණ දැකීම වගෙයි. ප්‍රසාදයෙන් යුතු ව ඔබ මා පිළිගත්තා. 11දෙවියන්වහන්සේ මට දයාන්විත ව ඇති බැවින් හා අවශ්‍ය හැම දෙයක් ම මා සතු බැවින්, ඔබට ගෙනා මගේ ආශිර්වාදය පිළිගන්නැ” යි කීවේ ය. මෙසේ ඔහු පෙරැත්ත කළෙන්, ඒසව් එය පිළිගත්තේ ය.
12ඉන්පසු ඒසව්, “අපි ගමන් අරඹමු, මාත් ඔබ සමඟ එනවා” යි කීවේ ය.
13එහෙත් යාකොබ්, “දරුවන් ලාමක බැව් ද කිරි දෙන එළු බැටළු දෙනුන් ගැන මා සැලකිලිමත් විය යුතු බැව් ද මා ස්වාමියා දනී. එක් දවසකදී වුව තදින් උන් දැක්කුවහොත්, සියලු සතුන් මැරී යාවි. 14එබැවින් මගේ ස්වාමියා ඔබේ සේවකයාට කලින් යන්න. සේයිර් වෙත මගේ ස්වාමියා ළඟට එන තෙක්, මට පෙරටුව ඇදෙන සත්ව රංචුවලටත්, දරුවන්ටත් යා හැකි පමණට මම හෙමිහිට එන්නම් යැ” යි කීවේ ය.
15එවිට ඒසව්, “එසේ නම්, මා සමඟ සිටින මිනිසුන්ගෙන් කීප දෙනකු ඔබ හා නවතා යන්නට ඉඩ දෙන්නැ” යි කීවේ ය.
එහෙත් යාකොබ් පිළිතුරු දෙමින්, “ඒ කුමට ද? මගේ ස්වාමියා හමුවේ ප්‍රසාදය පමණක් මට ලැබේවා!” යි කීවේ ය.
16එබැවින් ඒසව් ඒ දවසේ ම සේයිර් බලා යළි ගමන් ඇරඹී ය. 17එහෙත් යාකොබ් සුක්කොත් වෙත ගොස්, තමාට එහි ගෙයක් ගොඩ නගා, තම සතුන් සඳහා මඩු ද තැනවී ය. එම ස්ථානය සුක්කොත්#33:17 සුක්කොත් එනම් මඩු යන නමින් හැඳින්වෙන්නේ එබැවිනි.
18මෙසේ යාකොබ් පදන්-අරාම් සිට පැමිණ, කානාන් දේශයේ ෂෙකෙම් පුර වෙත සුරැකි ව ළඟා වී, පුරය ඉදිරිපිට කඳවුරු බැන්දේ ය. 19තම කූඩාරම් පිහිටූ බිම් කොටස, ඔහු ෂෙකෙම්ගේ පියා වූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී මිල සියයකට මිල දී ගත්තේ ය. 20එහි පූජාසනය ඉදි කළ ඔහු ඊට ඒල්-එලොහේ-ඉශ්‍රායෙල්#33:20 ඒල්-එලොහේ-ඉශ්‍රායෙල් එනම් දෙවියන්වහන්සේ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ යන නම තැබී ය.

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

උත්පත්ති 33 동영상