උත්පත්ති 26

26
ඊසාක් සහ අබිමෙලෙක්
1එකල දේශයේ සාගතයක් විය. මෙය කලින් ආබ්‍රහම්ගේ කාලයේ පැවති එක නො වේ. එබැවින් ඊසාක් පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් වෙත ගෙරාර් බලා ගියේ ය. 2ස්වාමින්වහන්සේ ඊසාක්ට පෙනී, “ඊජිප්තුවට නො යන්න; මා ඔබට පවසන දේශයේ වාසය කරන්න. 3මේ දේශයේ විදේශී ව සිටින්න. මම ඔබ සමඟ සිටිමින්, ඔබට ආශිර්වාද කරන්නෙමි. ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් මම මේ දේශ සියල්ල දෙන්නෙමි. එමඟින්, ඔබේ පියා වූ ආබ්‍රහම්ට මා ශපථ කළ දිවුරුම ස්ථිර කරන්නෙමි. 4මම, ඔබෙන් පැවතෙන්නන් අහසේ තරු මෙන් අසංඛ්‍ය වන්නට සලස්වා, මේ දේශ සියල්ල ම ඔවුනට දෙන්නෙමි. ඔබගේ වංශය තුළින් මිහි පිට සියලු ජාතීන් ආශිර්වාද ලබනු ඇත. 5මන්ද ආබ්‍රහම් මට කීකරු වී, මගේ නියමය ද මගේ ආඥා ද මගේ නියෝග ද මගේ උපදෙස් ද රක්ෂා කළ නිසා යැ” යි පැවසූ සේක. 6එබැවින් ඊසාක් ගෙරාර්හි වාසය කළේ ය.
7එහි මිනිසුන් ඔහුගේ බිරිඳ ගැන විමසූ කල ඔහු කීවේ, “ඈ මගේ සහෝදරී” කියා ය. “ඈ මගේ බිරිඳ යැ” යි කීමට ඔහු භය විය. මන්ද, “රෙබෙකා රූමතියක බැවින් ඇය ලබා ගැනීමට එහි මිනිසුන් මා මරා දමනු ඇතැ” යි ඔහු සිතූ බැවිනි.
8ඊසාක් දිගු කලක් එහි විසූ පසු, පිලිස්තිවරුන්ගේ රජු, අබිමෙලෙක් කවුළුවකින් පිටත බලන්නේ, ඊසාක් තම බිරිඳ වූ රෙබෙකාට ආදරය කරනවා දුටුවේ ය. 9එබැවින් අබිමෙලෙක් ඊසාක් කැඳවා, “සැබවින් ම ඇය ඔබේ බිරිඳයි. එසේ නම්, ‘ඇය මගේ සහෝදරී’ යි ඔබ කීවේ මන්දැ?” යි ඇසී ය.
ඊසාක් පිළිතුරු දෙමින්, “ඇය හේතු කොට මගේ ජීවිතය මට අහිමි වෙතැයි මා සිතූ නිසා යැ” යි පැවසී ය.
10එවිට අබිමෙලෙක් කතා කරමින්, “මොකක් ද මේ නුඹ අපට කළේ? මිනිසුන්ගෙන් කෙනකු නුඹේ බිරිඳ හා සයනය කරන්නට හොඳට ම ඉඩ තිබුණා. එසේ වී නම්, නුඹ නිසා අප පිට සාපරාධී වරදක් පැමිණෙන්නට තිබුණා” යි චෝදනා කළේ ය.
11එබැවින් අබිමෙලෙක් මුළු ජනතාවට නියෝග කරමින්, “මෙම මිනිසාට හෝ ඔහුගේ බිරිඳට හෝ කිසි අතවරයක් කරන කවරකු වේවා මරණයට පත් කෙරේ” යි දැන්වී ය.
12ඊසාක් ඒ දේශයෙහි ධාන්‍ය වපුරා, ඒ අවුරුද්දේ සිය ගුණයක් නෙළා ගත්තේ ය. මෙසේ ස්වාමින්වහන්සේ ඔහුට ආශිර්වාද කළ සේක; 13ඒ මිනිසා ධනවත් වී, වඩ වඩා සමෘද්ධිමත් ව, අතිශයෙන් ධනවත් විය. 14පිලිස්තිවරුන් ඔහුට ඊර්ෂ්‍යා කරන තරමට එළු බැටළු රංචු ද ගව රංචු ද දැසි දස්සන් ද ඔහු සතු විණ. 15ඔහුගේ පියා වූ ආබ්‍රහම්ගේ කාලයේ ඔහුගේ පියාගේ සේවකයින් විසින් කණිනු ලැබ තිබූ ළිං සියල්ල පිලිස්තිවරුන් පස් දමා වසා තිබිණ.
16එකල අබිමෙලෙක් ඊසාක්ට කතා කොට, “අප වෙතින් අහක් ව යන්න. අපට දැරිය නො හැකි තරමට ඔබ ප්‍රබල වී ඇතැ” යි පැවසී ය.
17එබැවින් ඊසාක් එතැනින් පිටත් ව, ගෙරාර් මිටියාවතේ කඳවුරු ගසා, එහි පදිංචි විය. 18තම පියා වූ ආබ්‍රහම්ගේ කාලයේ හාරන ලදුව, ආබ්‍රහම්ගේ මරණින් පසු පිලිස්තිවරුන් විසින් වසා දමා තිබූ ළිං, ඊසාක් යළි කැණැවී ය. ඔහුගේ පියා ඒවාට දී තිබූ නම්වලින් ම ඔහු ඒවා හැඳින් වී ය.
19ඊසාක්ගේ සේවකයෝ මිටියාවතේ කැණීම් කර, නැවුම් වතුර ඇති ළිඳක් සොයා ගත්හ. 20එහෙත් ගෙරාර්හි එඬේරු, “මේ වතුර අපේ” කියමින් ඊසාක්ගේ එඬේරුන් සමඟ දබර කළහ. ඒ මිනිසුන් තමා හා දබර කළ බැවින්, ඊසාක් ඒ ළිඳට, “ඒසෙක්”#26:20 ඒසෙක් එනම් විවාදය හෝ දබරය යයි නම් තැබී ය. 21ඉන්පසු ඔවුහු තවත් ළිඳක් හෑරූහ. ඔවුහු ඒ ගැන ද දබර කළහ. එබැවින් ඔහු එයට, “සිට්නා”#26:21 සිට්නා එනම් විරුද්ධවාදීකම හෝ සතුරුකම යන නම තැබී ය. 22එතැනින් නික්ම ගිය ඔහු තවත් ළිඳක් කැණී ය. කිසිවකුත් ඒ ගැන දබර කළේ නැත. එබැවින්, “ස්වාමින්වහන්සේ දැං අපට ඉඩ සලසා දුන් බැවින්, අපි දේශයේ සඵල වන්නෙමු” යි පැවසූ ඔහු, “රෙහොබොත්”#26:22 රෙහොබොත් එනම් ඉඩ යැයි ඊට නම් තැබී ය.
23ඔහු එතැනින් බෙයර්ෂෙබා දක්වා නැග ගියේ ය. 24ඒ රාත්‍රියේ ස්වාමින්වහන්සේ ඔහුට පෙනුණු සේක්, “ඔබේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ මම ය. භය නො වන්න; මන්ද මම ඔබ සමඟ සිටිමි. මගේ සේවක ආබ්‍රහම් උදෙසා මම ඔබට ආශිර්වාද කර, ඔබගේ වංශය ගණනින් වර්ධන කරන්නෙමි” යි පැවසූ සේක.
25ඊසාක් පූජාසනයක් එහි ඉදිකර, ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කර, තම කූඩාරම එහි පිහිටුවී ය. එහිදී ඊසාක්ගේ සේවකයෝ ළිඳක් හෑරූහ.
26මේ අතර අබිමෙලෙක් තම පෞද්ගලික උපදේශක අහුස්සත් ද තම හමුදාපති පීකොල් ද සමඟ ගෙරාර්හි සිට ඊසාක් හමුවට ආවේ ය. 27එවිට ඊසාක් ඔවුන් අමතමින්, “ඔබ මට වෛර වී, ඔබ වෙතින් මා පලවා හැර තිබියදීත්, මා හමුවට ආවේ මොකට දැ?” යි ඇසී ය.
28ඔවුහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබ සමඟ සිටිනා වග පැහැදිලි ව අප දුටු නිසා, ‘අප අතර, ඔබත්-අපත් අතර දිවුරුම් පොරොන්දුවක් ඇතිකර ගත යුතු යැ’ යි අප කතා කර ගත්තා. අප ගිවිසුමක් කර ගන්නේ, 29අප, ඔබට හිංසා නො කොට හැම විට ම යහපත් අයුරින් සලකා, සාමයෙන් ඔබ පිටත් කර හැරියා සේ ම, ඔබත් අපට කිසිදු අනර්ථයක් නො කළ යුතු බවටයි. සැබවින් ම ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලද්දා ඔබ යැ” යි පැවසූහ.
30එවිට ඊසාක් ඔවුන්ට භෝජන සංග්‍රහයක් පැවැත්වී ය. ඔවුහු කෑවෝ ය; බීවෝ ය. 31පසු දා අරුණ උදයෙන් පිබිදි ඔවුහු එකිනෙකාට දිවුරුම් දුන්හ. ඉන්පසු ඊසාක් ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු සාමයෙන් ඔහු වෙතින් පිටත් ව ගියහ.
32ඒ දවසේ ම ඊසාක්ගේ සේවකයෝ අවුත්, ඔවුන් හාරා තිබූ ළිඳ ගැන පවසමින්, “අපට වතුර සම්බ වුණා!” යි ඔහුට කීවෝ ය. 33ඔහු ඊට “ශිබා”#26:33 ශිබා ශබ්ද අර්ථයෙන් දිවුරුම යැයි නම් තැබී ය. එබැවින්, අද දවස දක්වාත් ඒ නගරයේ නම බෙයර්ෂෙබා#26:33 බෙයර්ෂෙබා එනම් දිවුරුමේ ළිඳ ය.
යාකොබ්, ඒසව්ගේ ආශිර්වාදය පැහැර ගනී
34ඒසව් හතළිස් වියැති වූ කල, ඔහු හිත්තීය බෙයේරිගේ දියණි යෙහූදිත් ද හිත්තීය ඒලොන්ගේ දියණි බසෙමත් ද ආවාහ කොට ගත්තේ ය. 35ඔවුහු ඊසාක්ගේත්, රෙබෙකාගේත් දැඩි ශෝකයට හේතු වූහ.

하이라이트

공유

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

උත්පත්ති 26 동영상