උත්පත්ති 44

44
නැති වූ කුසලාන
1ජෝසෙප් තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මොවුන්ගේ ගෝණි මොවුන්ට උසුලාගෙන යන්න හැකිතරම් ආහාරවලින් පුරවා, එකිනෙකාගේ මුදල් ඒ ඒ අයගේ ගෝණි කටේ දමන්න. 2තවද, මාගේ කුසලාන එනම් මාගේ රිදී කුසලාන, බාලයාට අයිති ගෝණියේ කටේ ඔහු ධාන්‍යවලට ගෙවූ මුදලත් සමඟ දමන්නැ”යි අණ කෙළේ ය. ඔහු ද ජෝසෙප් කී හැටියට ම ඉටු කෙළේ ය.
3උදය පහන් වූ කල ජෝසෙප්ගේ සහෝදරයෝ ඔවුන්ගේ කොටළුවන් සමඟ පිටත් කර හරින ලදහ. 4මොවුන් නගරයෙන් පිටතට ගොස්, වැඩි දුරක් යන්නට ප්‍රථම, ජෝසෙප් තම කළමනාකරුට කතා කොට, “නැඟිට අර මිනිසුන් ලුහුබැඳ යන්න, නුඹට ඔවුන් හමු වූ කල ඔවුන්ට කතා කොට, ‘හොඳක් කළා ම නරකක් කෙළේ මන් ද? නුඹලා මාගේ රිදී කුසලාන සොරකම් කෙළේ ඇයි? 5මාගේ ස්වාමියා පානය කරන්නටත්, දිවැස් කියන්නටත් භාවිත කරන්නේ මෙය නොවේ ද? මෙසේ කිරීමෙන් නුඹලා කර ඇත්තේ දුෂ්ටකමකි’ කියා කියන්නැ”යි කීවේ ය.
6කළමනාකරු ඔවුන් හමු වූ විට එසේ ම කී ය. 7එවිට ඔව්හු ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබ මෙසේ කීමෙන් අදහස් කරන්නේ කුමක් ද? මෙවැන්නක් කිරීමට ඔබේ දාසයන් හීනෙන් වත් සිතන්නේ නැත. 8බලන්න, අපේ ගෝණි කටේ තිබී සම්බ වූ මුදල් ද කානාන් දේශයේ සිට නැවත ඔබ වෙත අපි ගෙනාවෙමු. එසේ නම් ඔබ ස්වාමියාගේ ගෘහයෙන් රිදී හෝ රත්රන් හෝ අප සොරකම් කරන්නේ කොහොම ද? 9ඔබගේ දාසයන් අතර යම් කෙනෙකු ළඟ තිබී එය සොයාගතහොත් ඔහු මැරුණා වේ! අපි ද අප ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමු”යි කී හ. 10ඔහු පිළිතුරු දෙමින්, “හොඳයි, නුඹලා කී ලෙස ඉටු වේ වා! කවුරුන් හෝ ළඟ තිබී එය සම්බවුවහොත් ඔහු මාගේ වහලා වන්නේ ය; නුඹලා නිදහස් වන්නහු ය”යි කීවේ ය. 11එවිට ඔව්හු කඩිනම් කොට එකිනෙකා තම තමාගේ ගෝණි බිමට බා, තම තමාගේ ගෝණි ඇරියෝ ය. 12ඔහු ද වැඩිමලාගෙන් පටන්ගෙන බාලයා දක්වා ඒවා අවුස්සා බැලූ විට බෙන්ජමින්ගේ ගෝණියේ තිබී කුසලාන සම්බ විය. 13එවිට ඔව්හු දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම තමන් කොටළුවන් පිට බඩු පටවාගෙන ආපසු නගරය බලා පැමිණියෝ ය.
14මෙසේ ජුදා සහ ඔහුගේ සහෝදරයන් ජෝසෙප්ගේ ගෘහයට ආපසු පැමිණි විට ජෝසෙප් එතෙක් එහි සිටියෙන්, ඔව්හු ඔහු ඉදිරියෙහි බිම වැටී වැන්දා හ. 15ඔහු ඔවුන් අමතමින්, “නුඹලා කළ මේ දේ කුමක් ද? මා වැනි කෙනෙකුට ඇත්තෙන් ම දිවැස් කීමට හැකි බව නුඹලා නොදන්නහු දැ”යි ඇසී ය. 16එවිට ජුදා කතා කොට, “මාගේ ස්වාමීන් හට අප කුමන පිළිතුරක් දෙන්න ද? අප කුමක් කියන්න ද? අපි කෙසේ නම් මේ ගැන නිදොස් වමු ද? දෙවියන් වහන්සේ ඔබේ දාසයන්ගේ දුෂ්ටකම මතුකර පෙනෙන්නට සැලැසූ සේක. මෙන්න, තමා ළඟ කුසලාන තිබී සම්බ වූ තැනැත්තාත් අපිත්, මාගේ ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමු”යි කීවේ ය. 17ජෝසෙප් එවිට උත්තර දෙමින්, “එසේ නො වේ වා! මම එවැන්නක් නොකරමි. එහෙත්, යමෙකු ළඟ තිබී කුසලාන සම්බ වූයේ ද ඔහු පමණක් මාගේ වහලා වන්නේ ය. නුඹලා සැම දෙන නැඟිට නුඹලාගේ පියා වෙත සාමදානයෙන් යන්නැ”යි කී ය.
ජුදා මැදහත් වීම
18එවිට ජුදා ජෝසෙප් ළඟට පැමිණ, “මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබට පෞද්ගලික ව වචනයක් කීමට ඔබේ දාසයාට අවසර දෙනු මැනව. ඔබේ දාසයාට විරුද්ධ ව ඔබේ කෝපය නොඇවිලේ වා! ඔබ ඇත්තෙන් ම පාරාවෝ හා සමාන ය. 19‘නුඹලාට පියෙක් හෝ සහෝදරයෙක් හෝ සිටී දැ’යි මාගේ ස්වාමීන් වන ඔබ දාසයන් වන අපෙන් ඇසුවෙහි ය. 20අපි මාගේ ස්වාමීන් අමතා, ‘මහලු වියේ සිටින පියෙක් ද මහලු වියේ ඔහු ලැබූ කුඩා ළමයෙක් ද අපට ඇත. ඔහුගේ සහෝදරයා මළේ ය. මවගේ දරුවන්ගෙන් ඉතිරි ව ඇත්තේ ඔහු පමණ යි, ඔහුගේ පියා ද ඔහුට ප්‍රේම කරයි’ කියා කීවෙමු. 21එවිට ඔබ ඔබේ දාසයන් අමතා, ‘මට ඔහු බලා දැකගන්න පිණිස ඔහු ගෙනෙන්නැ’යි කීවෙහි ය. 22අපි එවිට, ‘ළමයාට නම් පියා අත්හැර එන්න බැරි ය; පියාගෙන් ඔහු වියෝ වී ආවොත් පියා මැරේවි’ කියා කීවෙමු. 23ඔබ එවිට ඔබේ දාසයන් අමතා, ‘නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස මින්පසු නුඹලා මා ඉදිරියට නො ආ යුතුය’යි කීවෙහි ය.
24“තවද, අපි ඔබේ දාසයා වන මාගේ පියා වෙත පැමිණි විට, මාගේ ස්වාමියා කී දේ ඔහුට සැළ කෙළෙමු. 25අපගේ පියා, ‘නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්න ය’යි කීවේ ය. 26එවිට අපි, ‘අපට නම් යන්න බැරි ය; අපේ බාල ම සහෝදරයා අප සමඟ යතොත් නම් අපි යමු; මන්ද, අපේ බාල ම සහෝදරයා අප සමඟ නැත්නම් අප අධිපති තැන ඉදිරියට නොයා යුතු ය’යි කීවෙමු. 27එවිට ඔබේ දාසයා වන මාගේ පියා අපට කතා කොට, ‘මාගේ බිරිඳ මට දාව පුත්‍රයන් දෙදෙනෙකු බිහි කළ බව නුඹලා දන්නහු ය. 28එක් කෙනෙකු මාගෙන් වියෝ වී ගිය විට, ඇත්තෙන් ම සතෙකු ඔහු කෑලි කෑලිවලට ඉරාදමා ඇතැ යි මම කීවෙමි. මන්ද, එවක් පටන් මම ඔහු නුදුටිමි. 29ඔබ මොහු වත් මාගෙන් රැගෙන ගොස් මොහුට අනතුරක් වූයේ නම්, නුඹලා මා පැසුණු හිසකේ එක්ක වළපල්ලට අරින්නට හදන්නහු දැ’යි කී ය. 30දැන් ඉතින් ඔබේ දාසයා වන මාගේ පියා වෙත මා පැමිණි විට අප සමඟ ළමයා නැත්නම්, ඔහුගේ පණ කෙන්ද ළමයාගේ පණ කෙන්ද සමඟ වෙළී පවතින බව මට පෙනෙන නිසා, 31අප සමඟ ළමයා නැති බව ඔහු දැක ඔහු නසින්නේ ය. මෙලෙස ඔබේ දාසයෝ ද ඔබ දාසයා වන අපේ මහලු පියාට දුක් දී, මරණයට පත් කරන්නෝ ය. 32ඔබේ දාසයා වන මම, ‘ඔහු ඔබ වෙත නො ගෙනාවොත් ඒ වරද, මාගේ පියා ඉදිරියෙහි මම සදහට ම බාර ගන්නෙමි’ කියා මාගේ පියාට ළමයාගේ ඇපකරු වූයෙමි. 33දැන් ඉතින්, මාගේ ස්වාමීන් වෙත ළමයා වෙනුවට මේ ඔබේ දාසයා වහලෙකු මෙන් සිටින්නේ ය. කරුණාකර, ළමයාට ඔහුගේ සහෝදරයන් සමඟ යන්න ඉඩ හරිනු මැනවි. 34ළමයා මා සමඟ නැති ව මම කෙසේ නම් මාගේ පියා වෙතට යන්නෙම් ද? මාගේ පියාට පැමිණෙන්නට යන විපත මාගේ ඇස්වලින් බලන්න බැරි ය”යි කීවේ ය.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

උත්පත්ති 44 동영상