උත්පත්ති 26

26
ඊසාක් මුහුණ පෑ ගැටළුව
1එකල රටෙහි සාගතයක් විය. මෙය ආබ්‍රහම්ගේ කාලයෙහි වූ පළමු සාගතයට පසු පැමිණි එකකි. ඊසාක්, එවිට ගෙරාර්හි පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් වෙත ගියේය. 2සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක:
“මිසර දේශයට නොගොස්, ඔබට මා කියන දේශයෙහි පදිංචි වන්න.
3 # උත් 22:16-18 මඳ කලක් මෙරට වසන්න.
මම ඔබ සමඟ සිටිමි, ඔබට ආසිරි දෙමි;
ඔබට ද ඔබ පරපුරට ද මේ මුළු දේශය මම දෙමි.
මෙලෙස ඔබ පිය ආබ්‍රහම් හට මා දිවුළ දිවුරුම ඉටු කරමි.
4අහසේ තරු මෙන්, ඔබ පෙළපත මම වැඩි කරමි.
මේ මුළු රට ඔබේ පෙළපතට මම දෙමි.
මිහි පිට සියලු ජාතීහු, ඔබ මඟින්, තමන්ට ආශීර්වාද කරගන්නාහ.
5එසේ වනුයේ, ආබ්‍රහම් මා හට කීකරු ව, මාගේ අණපනත් ද මාගේ නීති ව්‍යවස්ථා ද පිළිපැදි හෙයිනි.”
6ඊසාක් ගෙරාර්හි පදිංචි විය. 7#උත් 12:13; 20:2 එහි සිටි මිනිස්සු ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විමසුවෝ ය. ඔහු ද, “ඈ මාගේ සහෝදරීය”යි කී ය. “ඈ මගේ භාර්යාව ය”යි කීමට ඔහු බිය වූයේ, රෙබෙකා රූමත් බැවින් ඈ නිසා ‘ඔවුන් මා මරති’යි සිතූ නිසා ය. 8ඔහු එහි කාලයක් විසූ පසු, පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් කවුළුවකින් පිටත බැලූ විට, පුදුමයකි, ඊසාක් තම බිරිඳ වන රෙබෙකාට පෙම් කරනු දිටී ය. 9අබිමෙලෙක් ඊසාක් කැඳවා, “නිසැක ව ම ඈ ඔබේ භාර්යාව ය; එසේ නම්, ‘ඈ මාගේ සහෝදරී ය’යි ඔබ කීවේ කෙසේ දැ”යි ඇසී ය. ඊසාක් ඔහුට කතා කොට, “ඈ නිසා මට මැරෙන්න වේ යයි සිතා මම එසේ කීවෙමි”යි පිළිතුරු දුනි. 10එවිට අබිමෙලෙක්, “ඔබ අපට කළ මේ දේ කුමක් ද? සෙනඟගෙන් කෙනෙක් ලෙහෙසියෙන් ම ඈ සමඟ සේවනයෙහි යෙදෙන්නට තිබිණි. එසේ වී නම්, ඔබ නිසා අප පිට වරද පැමිණෙන්නට තිබුණේ ය”යි කීවේ ය. 11තවද රජ තෙම, “යමෙක් මේ මිනිසාට හෝ ඔහුගේ භාර්යාවට හෝ අත තැබුවහොත් ඇත්තෙන් ම ඔහු මරනු ලැබේ ය” කියා නියෝගයක් සිය සෙනඟට පැණ වී ය.
12ඉන්පසු ඊසාක් එම රටෙහි ධාන්‍ය වපුරා එම අවුරුද්දෙහි ම සිය ගුණයක් සරු අස්වැන්නක් නෙළාගත්තේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක. 13ඔහු ද ධනවෙතකු මෙන් සමෘද්ධ වී, මහා බලවෙතකු බවට පත් විය. 14මන්ද, ඔහු සතු එළු බැටළු හා ගව පට්ටි වූ හ. දැසිදස්හු ද විශාල පිරිසක් වූ හ. එහෙත් පිලිස්තිවරු ඔහුට ඊර්ෂ්‍යා කළහ. 15එබැවින්, තම පියා වන ආබ්‍රහම්ගේ කාලයේ දී ඔහුගේ මෙහෙකරුවන් කැණූ ළිං සියල්ල ම පිලිස්තිවරු පස් පුරවා වසාදැමූ හ.
16අබිමෙලෙක් ඊසාක් අමතා, “ඔබ අපට වඩා බොහෝ බලසම්පන්න බැවින්, අප කෙරෙන් ඉවත් ව යන්නැ”යි කී ය. 17ඊසාක් ද එතැනින් නික්ම, ගෙරාර්හි මිටියාවතෙහි තම කඳවුර පිහිටුවා, එහි පදිංචි විය. 18ආබ්‍රහම්ගේ මරණින් පසු, පිලිස්තිවරුන් ළිං සියල්ල වසාදමා තැබූ හෙයින්, ඔහුගේ පියාගේ කාලයෙහි කණින ලද වතුර ළිං ඊසාක් නැවත කැණී ය. තවද, තම පියා දුන් නම්වලින් ම ඔහු ඒ ළිං හැඳින් වී ය.
19ඊසාක්ගේ මෙහෙකරුවන් මිටියාවතේ ළිං කණින විට ඔවුන්ට එහි දිය උල්පත් සහිත ළිඳක් සම්බ විය. 20එහෙත් ගෙරාර්හි ගොපල්ලෝ, “මේ වතුර අපගේ ය” කියමින් ඊසාක්ගේ ගොපලුන් සමඟ කලහ කළහ. ඔවුන් ඔහු සමඟ මෙලෙස කලහ කළ බැවින් ඒ ළිඳට ‘ඒසෙක්’ යන නම ඔහු දුනි. 21ඔවුන් තවත් ළිඳක් කැණූ විට ගෙරාර්හි ගොපල්ලෝ ඒ ගැන ද කලහ කළහ. එබැවින් ඊට ‘සිත්නා’යි නම දුනි. 22ඊසාක් ඉන්පසු එතැනින් නික්ම ගොස්, තවත් ළිඳක් කැණී ය. එහෙත් ඒ ගැන ඔවුන් කලහ නොකළ බැවින් එය ‘රෙහොබොත්’ යන නමින් හැඳින්විය. ළිඳ මෙසේ හඳුන්වා, “දැන් ඉතින් සමිඳාණන් වහන්සේ අපට මේ රටෙහි ඉඩ කඩ දුන් සේක. අපි මේ රටෙහි සමෘද්ධ වන්නෙමු”යි කී ය.
23පසුව ඔහු එතැනින් පිටත් ව, බෙයර්-ෂෙබාවට ගියේය. 24එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක;
“නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය.
බිය නොවන්න.
නුඹ සමඟ ද මම සිටිමි;
නුඹට ආසිරි දෙමි.
මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා,
නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.”
25ඊසාක් ද එහි පූජාසනයක් ඉදි කොට, සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය. තවද, එහි ඔහු තම කඳවුර පිහිටුවිය. එම ස්ථානයෙහි ද ඊසාක්ගේ මෙහෙකරුවෝ ළිඳක් කැණූ හ.
ඊසාක් සහ අබිමෙලෙක් රජ අතර ගිවිසුම
26 # උත් 21:22 එකල ගෙරාර්හි සිට අබිමෙලෙක් ද, ඔහුගේ මිතුරෙකු වන අහුස්සත් ද, තම හමුදාවේ සේනාධිපති වන පීකොල් ද ඊසාක් වෙත ගියහ. 27එවිට ඊසාක් ඔවුන් අමතා, “මට වෛර කර, ඔබ වෙතින් මා පලවා හැරිය ඔබ හැම දැන් මා වෙත එන්නේ මන්දැ”යි ඇසී ය. 28ඔව්හු ද, “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වන බව අපට ඒකාන්තයෙන් ම පැහැදිලි ය. එබැවින්, ‘දැන් ඉතින් ඔබ හා අප අතර දිවුරුමක් තිබිය යුතු ය. ඔබ සමඟ අපි, ගිවිසුමක් කරගනිමු’යි කියා අපි කතා කරගත්තෙමු. 29ඒ අනුව අප ඔබට අත වත් නොතබා, යහපත ම පමණක් කර, සාමදානයෙන් ඔබ පිටත් කර හැරිය ලෙස ඔබත් අපට හිරිහැර නොකළ යුතු ය. ඔබ ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේගේ ආශීර්වාද ලත් තැනැත්තා ය”යි කී හ. 30ඊසාක් ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කළ පසු, ඔව්හු කා බී, 31පසු දින උදය වේලාසනින් නැඟිට තම තමන් අතර දිවුරුම් දුන්හ. ඊසාක් ඔවුන් පිටත් කර හැරිය විට, ඔව්හු සාමදානයෙන් ඔහු වෙතින් නික්ම ගියහ.
32ඒ දවසේ ම ඊසාක්ගේ මෙහෙකරුවෝ විත් ඔවුන් කැණූ ළිඳක් ගැන කතා කරමින්, “අපට වතුර සම්බ විය”යි ඔහුට කී හ. 33ඔහු එය ෂිබා යන නමින් හැඳින් වී ය. එබැවින් අද දක්වා ම ඒ නගරයේ නම බෙයර්-ෂෙබා වේ.
34තවද, ඒසව්ට වයස අවුරුදු සතළිසක් වූ කල ඔහු හිත්තීය ජාතික බෙයේරිගේ දුව වන ජුඩිත් ද, හිත්තීය ජාතික එලොන්ගේ දුව වන බසෙමත් ද යන කාන්තාවන් සරණ පාවාගත්තේ ය. 35මොවුහු ඊසාක්ගේ හා රෙබෙකාගේ සිත් වේදනාවට හේතු වූ හ.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

උත්පත්ති 26 동영상