උත්පත්ති 23

23
සාරාගේ අවමඟුල
1සාරා අවුරුදු එකසිය විසිහතක් ආයු වළඳා 2කානාන් දේශයේ හෙබ්‍රොන් හෙවත් කිරියත්-අර්බාහි දී මියගියා ය. ආබ්‍රහම් ඈ ගැන හඬා වැලපුණේ ය.
3පසුව ඔහු ඇයගේ මළසිරුර ළඟින් නැඟිට, හිත්තීවරුන්ට කතා කොට, 4#ක්‍රියා 7:16; හෙබ්‍රෙ 11:9,13 “ආගන්තුකයෙක් වූ මම ඔබ සමඟ ටික කලකට වාසය කරන්නෙක්මි. මාගේ භාර්යාවගේ මළසිරුර ගෙන ගොස් වැළලීම පිණිස මට ම උරුම වන ලෙස සොහොන් පොළක් මට දෙන්නැ”යි කීවේ ය. 5හිත්තීවරු ඔහුට පිළිතුරු දෙමින්, 6“ස්වාමීනි අපට සවන් දෙනු මැනවි. ඔබ අප අතර බලසම්පන්න අධිපතියෙකි. අපේ සොහොන් ගෙවලින් ඉතා අගනා එකක ඔබේ මියගිය බිරිඳ වළලනු මැනවි. අප අතරෙන් කිසිවෙක්, මළ අය වැළලීම සඳහා, තමන්ට හිමි සොහොන් පොළක් ඔබට නො දී නොසිටින්නේ ය”යි කී හ.
7ආබ්‍රහම් ද නැඟිට, දේශවාසී හිත්තීවරුන් ඉදිරියෙහි හිස නමා ආචාර කොට, 8ඔවුන් අමතා, “මා විසින් මගේ මියගිය බිරිඳ වැළලීම පිණිස ඔබ කැමැති නම්, මට සවන් දී, ශොහර් පුත් එප්‍රොන්ගේ ඉඩමෙහි කෙළවර තිබෙන, 9ඔහු සතු මක්පේලාගේ ගුහාව මට දෙන ලෙස, මා වෙනුවෙන්, කරුණාකර, ඔහුගෙන් ඉල්ලනු මැනවි. එහි වටිනාකම අනුව සෑහෙන මිලකට සොහොන් බිම ඔබ ඉදිරියෙහි හිමි කර දෙන ලෙස කියන්නැ”යි පැවසී ය.
10එප්‍රොන්, හිත්තීවරුන් මැද වාඩි වී සිටියේ ය. හිත්තීය ජාතික ඔහු හිත්තීවරුන්ට හා නුවර වාසල දොරටුව ළඟ සිටි සියල්ලන්ට ඇසෙන පරිදි, ආබ්‍රහම්ට කතා කොට, 11“ස්වාමීනි, එසේ නො වේ වා! මට සවන් දෙන්න, ඉඩම ද එහි ඇති ගුහාව ද මම ඔබට දෙමි. මාගේ ජනයා ඉදිරිපිට මම එය ඔබට දෙමි. ඔබේ මියගිය බිරිඳ එහි වළලනු මැනවැ”යි කී ය. 12ආබ්‍රහම් ද රටේ ජනයා ඉදිරිපිට නැමී ආචාර කොට, 13ඔවුන්ට ඇසෙන පරිදි ඔහු එප්‍රොන්ට කතා කොට, “ඔබ මට එය දෙන්න කැමැති නම්, කරුණාකර, මට සවන් දෙන්න, ඉඩමේ වටිනාකමේ මුදල් මම දෙමි, එය බාරගන්න, මාගේ මියගිය බිරිඳ මම එහි වළලමි”යි කීවේ ය. 14එවිට එප්‍රොන් ආබ්‍රහම්ට උත්තර දෙමින්, 15“ස්වාමීනි, මට සවන් දෙන්න. බිම් කැබැල්ලේ වටිනාකම රිදී මිල හාරසියයක් පමණ ය. ඒක ඔබත් මාත් අතර ලොකු දෙයක් ද? ඔබේ මියගිය බිරිඳ එහි භූමදාන කරන්නැ”යි කී ය. 16ආබ්‍රහම් ද ඔහුගේ කීමට එකඟ විය. තවද, ඔහු හිත්තීවරුන්ට ඇසෙන පරිදි එකලට වලංගු වෙළඳ මිල අනුව රිදී කාසි හාරසියයක් එප්‍රොන්ට කිරා දුන්නේ ය.
17මෙසේ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි තිබුණු එප්‍රොන්ගේ ඉඩම හා එහි ගුහාව ද ඉඩමෙහි හා එය වට කළ මායිම්වල තිබූ ගස්කොළන් ද 18හිත්තීවරුන් හා නුවර වාසල් දොරටුවෙන් ඇතුළු වූ සියලු දෙනා ඉදිරිපිට ආබ්‍රහම්ට සින්නක්කර කොට දෙන ලදී. 19පසු ව ආබ්‍රහම්, කානාන් දේශයේ හෙබ්‍රොන් එනම්, මම්රේ ඉදිරියෙහි වූ මක්පේලාවෙහි ඉඩමේ තිබූ ගුහාවෙහි සිය බිරිඳ වන සාරා භූමදාන කෙළේ ය. 20මෙලෙස ඉඩම ද එහි ගුහාව ද හිත්තීවරුන් විසින් ආබ්‍රහම්ට සොහොන් බිමක් ලෙස සින්නකර දෙන ලදී.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

උත්පත්ති 23 동영상