උත්පත්ති 21

21
ඊසාක්ගේ උපත
1තවද, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේ සාරාට කරුණාව දැක්වූ සේක. උන් වහන්සේ ඈට දුන් පොරොන්දුව ඉටු කළ සේක. 2#හෙබ්‍රෙ 11:11 සාරා ද පිළිසිඳගෙන, දෙවියන් වහන්සේ වදාළ නියමිත කාලයෙහි, ආබ්‍රහම්ගේ මහලු වයසෙහි ඔහුට දාව පුත්‍රයෙකු ලැබුවා ය. 3ආබ්‍රහම්, තම පුත්‍රයාට ඊසාක් යන නම තැබී ය. 4#උත් 17:12; ක්‍රියා 7:8 ඊසාක් වන තම පුතුට දින අටක් වූ කල දෙවියන් වහන්සේ අණ කළ පරිදි ආබ්‍රහම් ඔහු චර්මඡේදනය කෙළේ ය. 5ඊසාක් උපදින විට ආබ්‍රහම්ට වයස අවුරුදු එකසියයකි. 6සාරා ද කතා කරමින්, “දෙවියන් වහන්සේ මා හිනැස්සූ සේක. මේ ගැන අසන සියල්ලන් මා සමඟ සිනාසෙනු ඇත.
7සාරා දරුවන්ට තනකිරි දෙති යි ආබ්‍රහම්ට කියන්නට කවරෙක් සිතුවේ ද?
ඔහුගේ මහලු වියෙහි දී මම ඔහුට පුතෙකු දුනිමි”යි
කීවා ය. 8දරුවා වැඩී කිරි වැරුවේ ය. කිරි වැරූ දිනයෙහි ආබ්‍රහම් මංගල්‍යයක් පැවැත්විය.
හාගර් සහ ඉෂ්මායෙල් නෙරපාදැමීම
9ආබ්‍රහම්ට දාව මිසර ජාතික හාගර්ගෙන් ලැබූ ඉෂ්මායෙල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවා ය. 10#ගලා 4:29-30 එබැවින් ඈ ආබ්‍රහම්ට කතා කොට, “මේ දාසියත්, ඇගේ පුතාත් එලවා දමන්න, මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමඟ උරුමකරු නොවිය යුතු ය”යි කීවා ය. 11ඉෂ්මායෙල් ඔහුගේ පුත්‍රයා වන බැවින්, මේ ඉල්ලීම නිසා ආබ්‍රහම් දැඩි සිත් වේදනාවට පත් විය. 12#රෝම 9:7; හෙබ්‍රෙ 11:18 එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය. 13හාගර්ගේ පුත්‍රයා ද නුඹට දාව උපන් බැවින් ඔහුට ද මම පෙළපතක් දෙන්නෙමි”යි වදාළ සේක.
14පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය. 15බෝතලයේ වතුර ඉවර වූ පසු ඈ පඳුරක් යට දරුවා තබා 16හී සැරයක් පමණ දුර ගොස් වාඩි වූවා ය. “දරුවා මැරෙනවා මා බලා ඉන්නේ කොහොම දැ”යි කියමින් ඈ ගොස් ඈතින් හිඳගත්තා ය. දරුවා#21:16 මෙහි දැක්වෙන්නේ සෙප්ටුවජින්ත පිටපතෙහි පරිවර්තනයකි. හෙබ්‍රෙව් පිටපත අනුව මෙම පදය මෙසේ පරිවර්තනය කළ හැකිය. ‘ඈ දරුවා ඉදිරිපස හිඳ මහ හඬින් වැලපුණා ය.’ ද කෑගසමින් හැඬුවේ ය.
17දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට, “ඔබ කරදර වී ඉන්නේ කුමක්නිසා ද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත. 18නැඟිටින්න, දරුවා ඔසවා අතට ගන්න, මම ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි”යි කීවේ ය. 19දෙවියන් වහන්සේ ඇගේ නෙත් පැහැදූ විට ඈ වතුර ඇති ළිඳක් දුටුවා ය. ඈ ද ගොස් භාජනය පුරවා, දරුවාට බීමට දුන්නා ය. 20දෙවියන් වහන්සේ ද ඒ දරුවා සමඟ වූ සේක. ඔහු වැඩී, පාළුකරයේ පදිංචි වී දුනුවායෙක් විය. 21ඔහු පදිංචි වූ පාළුකරය පාරාන් නම් විය. ඔහුගේ මව ඔහුට මිසර දේශයෙන් බිරිඳක ගෙන දුන්නා ය.
ආබ්‍රහම් සහ අබිමෙලෙක් රජ අතර ගිවිසුම
22 # උත් 26:26 ඒ කාලයෙහි අබිමෙලෙක් තමාගේ සෙන්පති පීකොල් සමඟ විත්, ආබ්‍රහම්ට කතා කොට, “ඔබ කරන සියල්ලෙහි දී දෙවියන් වහන්සේ ඔබ සමඟ ය. 23එබැවින් ඔබ මට හෝ මාගේ දරු මුණුබුරන්ට හෝ වංචා නොකරන බවටත්, මා ඔබට දැක්වූ කරුණාව ලෙස මටත්, ඔබ විදේශී ව වසන මේ දේශයටත්, කරුණාව දක්වන බවටත් දෙවියන් වහන්සේගේ නාමයෙන් දැන් මෙහි දිවුරන්නැ”යි කීවේ ය. 24ආබ්‍රහම් ද පිළිතුරු දෙමින්, “මම දිවුරමි”යි කී ය.
25ඉන්පසු අබිමෙලෙක්ගේ සේවකයන් බලහත්කාරයෙන් පැහැරගත් එක්තරා ළිඳක් ගැන ආබ්‍රහම් අබිමෙලෙක්ට පැමිණිලි කෙළේ ය. 26එවිට අබිමෙලෙක් උත්තර දෙමින්, “මෙය කෙළේ කවුදැ යි මම නොදනිමි. ඔබ ද මේ ගැන මට දැන්වූයේ නැත. මා මේ ගැන ඇසුවෙත් අද ය”යි කී ය. 27ආබ්‍රහම් බැටළුවන් සහ ගවයන් රැගෙන අබිමෙලෙක්ට දුන්නේ ය. මෙලෙස දෙදෙන ගිවිසුමක් පිහිටුවාගත්හ. 28තවද, ආබ්‍රහම් රැළෙන් බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ ය. 29අබිමෙලෙක් එවිට ආබ්‍රහම්ට කතා කොට, “ඔබ මේ බැටළු දෙනුන් හත්දෙනෙකු වෙන් කෙළේ මන්දැ”යි විචාළේ ය. 30ඔහු ද උත්තර දෙමින්, “මේ ළිඳ මා විසින් කැණුණු බවට සාක්ෂියක් වශයෙන් මේ බැටළු දෙනුන් හත්දෙනා මාගේ අතින් ඔබ බාරගන්න පිණිස ය”යි කී ය. 31එබැවින් ඒ ස්ථානයට ඔහු ‘බෙයර්-ෂෙබා’ යන නම තැබී ය. මන්ද, ඔවුන් දෙදෙනා ම එතැන්හි දී දිවුරුම් දුන් බැවිනි.
32මෙලෙස ඔව්හු බෙයර්-ෂෙබාහි දී ගිවිසුමක් කරගත්හ. පසුව අබිමෙලෙක් ද ඔහුගේ සෙන්පති පීකොල් ද නැඟිට, පිලිස්තිවරුන්ගේ දේශයට හැරී ගියහ. 33ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය. 34ඔහු බොහෝ කාලයක් පිලිස්තිවරුන්ගේ දේශයෙහි පදිංචි ව සිටියේ ය.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

උත්පත්ති 21 동영상