උත්පත්ති 17

17
ගිවිසුම් ලකුණ: චර්මඡේදනය
1ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න, 2මම මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවමි; නුඹේ පෙළපත ද බොහෝ සේ වැඩි කරන්නෙමි”යි වදාළ සේක.
3එවිට ආබ්‍රම් පසඟ පිහිටුවා වැඳ වැටිණි. දෙවියන් වහන්සේ ද ඔහු සමඟ කතා කරමින් මෙසේ වදාළ සේක: 4“මා නුඹ සමඟ පිහිටුවන මාගේ ගිවිසුම නම් මේ ය; නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහි ය. 5#රෝම 4:17 මින්පසු නුඹේ නාමය ‘උතුම් පියා’ යන අර්ථය ඇති ආබ්‍රම් නොව ‘ජාතීන්ගේ පියාණෝ’ යන අර්ථය ඇති ‘ආබ්‍රහම්’ යයි කියනු ලබන්නේ ය. මන්ද, මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි. 6මම නුඹට බොහෝ දරුසම්පත් දෙමි; නුඹෙන් ජාතීන් උපදවන්නෙමි; නුඹෙන් රජවරු පහළ වන්නාහ.
7 # ලූක් 1:55 “නුඹ සමඟ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට නුඹෙන් පැවතෙන නුඹේ පෙළපත සමඟ ද, මාගේ ගිවිසුම පිහිටුවමි. මම නුඹේ ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපත්වල ද දෙවියන් වහන්සේ වන බවට මාගේ සදාතන ගිවිසුම පිහිටුවමි. 8#ක්‍රියා 7:5 නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
9දෙවියන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: “නුඹ ද, නුඹෙන් පසු පරපුරෙන් පරපුරට පැවතෙන නුඹේ පෙළපත ද මාගේ ගිවිසුම ආරක්ෂා කළ යුතු ය. 10#ක්‍රියා 7:8; රෝම 4:11 නුඹ ද, නුඹේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රැකගත යුතු, මාගේ ගිවිසුම නම් මේ ය: එනම්, නුඹලාගේ සියලු පිරිමි දරුවන් චර්මඡේදනය කළ යුතු ය. 11නුඹලා නුඹලාගේ ලිංගාග්‍ර චර්මය ඡේදනය කළ යුතු ය. මෙය නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේ ය. 12නුඹලාගේ පෙළපත්වල සියලු පිරිමි දරුවන් දින අටක් වයස් වූ කල ඔවුන් චර්මඡේදනය කළ යුතු ය. ඔව්හු නුඹේ ගෘහයෙහි උපන්නෝ වුව ද, නුඹේ පෙළපතට අයත් නැති, විදේශිකයෙකුගෙන් මිලට ගත් අය වුව ද, ඔවුන් චර්මඡේදනය කළ යුතු ය. 13ගෘහයෙහි උපන් තැනැත්තෝ වෙත් වා; නුඹ මිල දී ගත් තැනැත්තෝ වෙත් වා; ඔවුන් චර්මඡේදනය කළ යුතු ය. මාගේ ගිවිසුම සදාතන ගිවිසුමක් ලෙස නුඹේ මාංසයෙහි සලකුණු කරනු ලැබිය යුතු ය. 14ලිංගාග්‍ර චර්මය ඡේදනය නොකළ අචර්මඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි.”
15තවද, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹේ භාර්යාව වන සාරයිට ‘නින්දා ලද්දී’ යන අර්ථය ඇති ‘සාරයි’ යන නම නොකියන්න. මින්පසු ඇගේ නම ‘කාරුණික’ යන අර්ථය ඇති ‘සාරා’ වේ. 16මම ඈට ද ආශීර්වාද කරමි. මම ඇගෙන් නුඹට පුත්‍රයෙකු දෙමි. සැබැවින් මම ඈට ආශීර්වාද කරන්නෙමි. ඈ ද බොහෝ ජාතීන්ගේ මාතාව වන්නී ය, ඇගේ පරපුරෙහි බොහෝ ජාතීන්ගේ රජවරු පහළ වන්නෝ ය”යි වදාළ සේක. 17එවිට ආබ්‍රහම් පසඟ පිහිටුවා වැඳ, මඳක් සිනහ පාමින්, “සියක් අවුරුදු පිරුණු කෙනෙකුට දරුවෙකු උපදිනු හැකි ද? අනූ අවුරුදු වයසැති, සාරා දරුවෙකු ලබන්නී දැ”යි තමාට ම කියා ගත්තේ ය. 18ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට කතා කොට, “ඔබ වහන්සේ ඉෂ්මායෙල් රැක බලා දෙන සේක් වා!”යි කී ය.
19එහෙත්, උන් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම නුඹේ බිරිඳ වන සාරා නුඹට පුතෙකු ලබා දෙන්නී ය. ඔහුට ‘සිනාසීම’ යන අර්ථය ඇති ‘ඊසාක්’ යන නම දෙන්න, මම ද මාගේ ගිවිසුම, සදාතන ගිවිසුමක් වශයෙන් ඔහු සමඟ ද, ඔහුගෙන් පැවතෙන පෙළපත සමඟ ද පිහිටුවමි. 20ඉෂ්මායෙල් ගැන කළ නුඹේ ඉල්ලීමට මම සවන් දුනිමි. මෙන්න, මම ඔහුට ද ආශීර්වාද කරමි; ඔහුට දරුසම්පත් දී, ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි; ඔහුට දාව රාජ කුමාරවරු දොළොස් දෙනෙක් උපදින්නාහ. මම ඔහුගේ පෙළපත විශාල ජාතියක් බවට පත් කරමි. 21එහෙත්, ලබන අවුරුද්දේ මේ කාලයේ දී සාරා නුඹට උපදවන ඊසාක් සමඟ මම මාගේ ගිවිසුම පිහිටුවමි”යි වදාළ සේක. 22මෙසේ කතා කොට නිම කළ පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් වෙතින් ඉවත් ව ගිය සේක.
23එවිට ආබ්‍රහම්, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද තම ගෘහයේ උපන් සියලු දෙනා ද ඔහු මිල දී ගත් සියලු දෙනා ද ඇතුළු තම ගෘහයේ සියලු පිරිමින් ද රැගෙන, එක ම දවසේ දී දෙවියන් වහන්සේ කී පරිදි ඔවුන් සියල්ලන් චර්මඡේදනය කෙළේ ය. 24ආබ්‍රහම් චර්මඡේදනය කරනු ලබන විට ඔහුට වයස අවුරුදු අනූනවයකි; 25ඉෂ්මායෙල්ට අවුරුදු දහතුනකි. 26ආබ්‍රහම් ද, ඔහුගේ පුත් ඉෂ්මායෙල් ද චර්මඡේදනය කරනු ලැබුවේ එක දවසේ ය. 27ආබ්‍රහම් සමඟ තම ගෘහයේ උපන් පිරිමින් ද, විදේශීන්ගෙන් මිලට ගත් අය ද ඇතුළු සියලු පිරිමි චර්මඡේදනය කරන ලදහ.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

උත්පත්ති 17 동영상