නික්මයාම 31

31
ශුද්ධස්ථානය ඉදි කිරීමට ශිල්පීන්
(නික්ම 35:30; 36:1)
1සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: 2“බලන්න, මම ජුදාගේ ගෝත්‍රයේ හුර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරා ගතිමි. 3තවද, මම ඔහු දේවාත්මානුභාවයෙන් ද නන්වැදෑරුම් නිර්මාණ ශිල්පය පිළිබඳ දක්ෂතාවෙන් ද හැකියාවෙන් ද අවබෝධයෙන් ද පූර්ණ කෙළෙමි. 4මා එසේ කෙළේ ඔහුට කලාත්මක සැලසුම් පිළියෙළ කිරීමටත්, රන් රිදී හා ලෝකඩයෙන් වැඩ කිරීමටත් 5මැණික් ගල් කැපීමටත්, ඒවා එබ්බවීමටත්, ලීයෙන් කැටයම් වැඩ කිරීමටත්, නන්වැදෑරුම් නිර්මාණ ශිල්ප කිරීමටත් හැකි වනු පිණිස ය. 6තවද, මම ඔහුගේ සහායට දාන්ගේ ගෝත්‍රයේ අභිසාමක්ගේ පුත්, ඔහොලියාබ් පත් කෙළෙමි. ඇරත් මා නුඹට අණ කළ සියල්ල ඔවුන් සාදන ලෙස දක්ෂ සියල්ලන්ට විශිෂ්ට හැකියාව දුන්නෙමි. 7නුඹට සෑදීමට අණ කළ ඒවා නම් සම්මුඛ මණ්ඩපය, ගිවිසුම් කරඬුව, එය මත ඇති කරුණාසනය, මණ්ඩපයේ සියලු බඩු බාහිරාදිය, 8මේසය සහ එහි බඩු බාහිරාදිය, ඝන රන් පහන් රුක හා එහි සියලු උපකරණ, දුම් පූජාසනය, 9දවන යාග පූජාසනය හා එහි සියලු බඩු බාහිරාදිය, වතුර භාජනය සහ එහි අඩිය, 10විචිත්‍ර වස්ත්‍ර වන පූජක නිලයේ සේවා කිරීම සඳහා පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර, 11ආලේප තෛලය සහ ශුද්ධස්ථානය සඳහා සුවඳ දුම් වේ. මා නුඹට අණ කළ සියල්ල අනුව ඒවා ඉටු කළ යුතු ය.”
සබත් දිනය
12නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, 13“නුඹ ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: “මාගේ සබත් දවස් නුඹලා හොඳින් පිළිපැදිය යුතු යි. මන්ද, ඒවා වනාහි නුඹලා ශුද්ධවන්ත කරවන, සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගනු පිණිස නුඹලාත්, මාත් අතර, නුඹලාගේ පෙළපත් තුළ පිහිටුවන ලද ලකුණකි. 14එබැවින් නුඹලා සබත් දිනය පිළිපැදිය යුතු ය. එය නුඹලාට ශුද්ධ දිනයක් විය යුතු ය. එය කෙලෙසන සෑම කෙනෙක් මරණයට පත් කරනු ලැබිය යුතු වේ. තවද, එම දවසේ වැඩ කරන සෑම කෙනෙක් ම, සිය සෙනඟ අතරින් නෙරපාදමනු ලැබිය යුතු ය. 15#නික්ම 20:8-11; 23:12; 34:21; 35:2; ලෙවී 23:3; ද්වි.නී. 5:12-14දවස් හයක් තුළ වැඩ කළ හැක, එහෙත් හත් වන දින, සමිඳාණන් වහන්සේ වන මට වෙන් කළ නිවාඩුවේ සබත් දිනය යි. සබත් දින වැඩ කරන සෑම කෙනෙක් ම මරණයට පත් කරනු ලැබිය යුතු වේ. 16එබැවින් ඉශ්රායෙල් ජනයා තමන්ගේ පෙළපත් තුළ සදාතන ගිවිසුමක් හැටියට, සබත පවත්වමින් එය පිළිපැදිය යුතු ය. 17#නික්ම 20:11එය මාත්, ඉශ්රායෙල් ජනයාත් අතර සදා පවතින ලකුණකි. මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද සාදා, හත් වන දින වැඩ නවතා, නිවාඩු ගත්තෙමි’ කියා කියන්න.”
18උන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කොට නිම කළ පසු, දේව ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු වන ගිවිසුම් පුවරු දෙක ඔහුට දුන් සේක.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요