නික්මයාම 24

24
ගිවිසුම ස්ථිර කිරීම
1තවද, උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ ද ආරොන් ද නාදාබ් ද අබිහු ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු ද සමිඳාණන් වහන්සේ වන මා වෙත කන්දට නැග, දුරින් සිට නමස්කාර කරන්න. 2මෝසෙස් පමණක් මට ළං විය යුතු ය. සෙස්සෝ ළං නොවිය යුත්තාහ. සෙනඟ ද කන්දට නොනැංග යුතු ය”යි වදාළ සේක.
3මෝසෙස් ද ඇවිත් සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග සෙනඟට දැන්වී ය. සියලු සෙනඟ ද එක හඬින් උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල ම අපි ඉටු කරන්නෙමු”යි කී හ. 4ඉන්පසු ඔහු උන් වහන්සේගේ ආඥා සියල්ල ම ලියා තැබී ය. පසු දින අලුයම ඔහු නැඟිට, කන්ද පාමුල පූජාසනයක් ද ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස අනුව ශිලාස්තම්භ දොළහක් ද ඉදි කෙළේ ය. 5පසුව ඔහු ඉශ්රායෙල් ජනයා අතරෙන් තරුණයන් යැවී ය. ඔව්හු දවන යාග පූජා හා ගවයන් මරා, සහභාගිකමේ පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළහ. 6මෝසෙස් සතුන්ගේ ලෙයින් දෙකෙන් කොටසක් ගෙන එය බඳුන්වල දැමී ය, ලෙයින් අඩක් පූජාසනය මත ඉස්සේ ය. 7පසුව ඔහු ගිවිසුම් පොත රැගෙන සෙනඟට ඇසෙන ලෙස එය කියවී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. 8#මතෙ 26:28; මාක් 14:24; ලූක් 22:20; 1 කොරි 11:25; හෙබ්‍රෙ 9:19-20; හෙබ්‍රෙ 10:29එවිට මෝසෙස් ලේ රැගෙන, සෙනඟ මත ඉසිමින්, “මෙය වනාහි සමිඳාණන් වහන්සේ මෙකී සියලු ආඥා ඔබට දෙමින්, ඔබ සමඟ කළ ගිවිසුම ස්ථිර කරන ලේ ය”යි පැවසී ය.
9මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු ද ඉශ්රායෙල්වරුන් අතර මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙක් ද කන්දට නැඟ, 10ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ දර්ශනය කළහ. උන් වහන්සේගේ සිරි පා යට නිල් අහස් තලයේ කාන්තිය බඳු නීල මාණික්‍යමය පදික වේදිකාවක් වැනි දෙයක් විය. 11එහෙත්, උන් වහන්සේ ඉශ්රායෙල් ජනයා අතර මේ නායකයන්ට අනතුරක් නොකළ සේක. ඔව්හු උන් වහන්සේ දුටු පසු ආහාර පාන අනුභව කළහ.
මෝසෙස් සීනයි කන්දට නැඟීම
12සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කන්දට නැඟ මා වෙත පැමිණ මෙහි නැවතී සිටින්න. නුඹ සෙනඟට උගන්වන පිණිස මා ලියූ ආඥා හා අණපනත් අඩංගු ගල් පුවරු මම නුඹට දෙමි”යි වදාළ සේක. 13මෝසෙස් නැඟිට තම සේවක ජෝෂුවා සමඟ ශුද්ධ කන්දට නැංගේ ය. 14තවද, ඔහු ප්‍රජා මූලිකයන් අමතමින්, “අප යළි ඔබ වෙත පැමිණෙන තෙක් මෙහි බලා සිටින්න. මෙන්න, ආරොන් ද හූර් ද ඔබ සමඟ සිටිති. විසඳීමට ප්‍රශ්නයක් යමෙකුට ඇත්නම් ඔහු ඔවුන් වෙත යා යුතු ය”යි කීවේ ය.
15මෝසෙස් ඉන්පසු කන්දට නැංගේ ය. වලාකුළ කන්ද වසාගත්තේ ය. 16සීනයි කන්ද මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය රැඳී පැවතිණි. වලාකුළ ද දින හයක් එය වසාගති. හත් වන දින උන් වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූ සේක. 17ඉශ්රායෙල් ජනයාගේ ඇස් හමුවෙහි සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඇවිලෙමින් නඟින ගිනි ජාලාවක් මෙන් දිස් විය. 18#ද්වි.නී. 9:9මෝසෙස් ද වලාකුළ මැදට ගොස් කන්දට නැංගේ ය. ඔහු දවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කන්දෙහි සිටියේ ය.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요