නික්මයාම 21

21
වහලුන් පිළිබඳ නීති
1“තවද, නුඹ පහත දක්වන නියෝග ද සෙනඟ ඉදිරියෙහි තැබිය යුතු ය. 2#ලෙවී 25:39-46නුඹ හෙබ්‍රෙව් ජාතික දාසයෙකු මිලයට ගත් විට, ඔහු අවුරුදු හයක් සේවය කොට, හත් වන අවුරුද්දේ දී කිසි වන්දි ගෙවීමක් නොමැති ව ඔහුට නිදහස් ව යන්නට ඉඩ දිය යුතු ය. 3ඔහු තනියම පැමිණියේ නම්, ඔහු තනියම පිට වී යා යුතු ය. ඔහු විවාහ වී පැමිණියේ නම් ඔහුගේ බිරිඳ ද ඔහු සමඟ පිට වී යා යුතු ය. 4ඔහුගේ ස්වාමියා ඔහුට භාර්යාවක පාවා දුන්නේ නම්, තවද ඈ ඔහුගෙන් දරුදැරියන් ලැබුවා නම්, භාර්යාවත්, ඇගේ දරුවනුත් ස්වාමියාට අයිති වනු ඇත. එබැවින් ඔහු තනියම පිට වී යා යුතු ය. 5එහෙත්, දාසයා, ‘මම මාගේ ස්වාමියාට ද මාගේ භාර්යාවට ද මාගේ දරුවන්ට ද ප්‍රේම කරමි. මට නිදහස උවමනා නැතැ’යි කියා ප්‍රකාශ කරන්නේ නම්, 6ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන් වහන්සේ වෙතට ගෙන යා යුතු ය. දොර හෝ උළුවහු කණුව හෝ ළඟට ඔහු ගෙන ගොස්, ස්වාමියා ඔහුගේ කන උල් කටුවකින් විද්ද යුතුයි. ඉන්පසු ඔහු සදහට ම ස්වාමියාට සේවය කළ යුතු වේ.
7“යම් මිනිසෙකු දාසියක ලෙස තම දුව විකුණුවහොත් ඈ දාසයෙකු නිදහස ලබන පරිදි තම නිදහස නොලබන්නී ය. 8භාර්යාවක වශයෙන් තමා පාවාගත් ස්වාමියාට ඈ ප්‍රිය මනාප නොවන්නී නම්, ඈ ආපසු මිල දී ගැනීමට අවසර දිය යුතු ය. එහෙත්, ඔහුට ඇය විදේශිකයෙකුට විකිණීමට බලයක් නොමැත. මන්ද, එසේ කිරීම ඇයට කරන අසාධාරණයක් බැවිනි. 9ස්වාමියා ඇය තම පුතුට දෙන්න අදහස් කරන්නේ නම්, ඔහු තම දූවරුන්ට මෙන් ඇයට ද සංග්‍රහ කළ යුතු ය. 10එහෙත්, ඔහු අන් භාර්යාවක පාවාගන්නේ නම්, පළමු භාර්යාවට දෙන ආහාර, වස්ත්‍ර, භාර්යාවක වශයෙන් ඈ කෙරෙහි ඇති යුතුකම්, අඩු නොකළ යුතුයි. 11එහෙත්, ඔහු ඇයට මේ තුන් වැදෑරුම් යුතුකම් අඩු කරන්නේ නම් ඇයට නොමිලයේ පිට වී යාමට අවසර දිය යුතු ය.”
සාහසික ක්‍රියා පිළිබඳ නීති
12 # ලෙවී 24:17 “යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම් ඒ තැනැත්තා මරනු ලැබිය යුතු ම ය. 13#ගණන් 35:10-34; ද්වි.නී. 19:1-13; ජෝෂු 20:1-9එහෙත්, මැරීමේ අදහසක් නැති ව හදිසි අනතුරකින් මරණය සිදු වී නම් ඒ තැනැත්තා පලා යා යුතු ස්ථානයක් මම නුඹට නියම කරමි. 14එහෙත් යම් මිනිසෙක් ඕනෑකමින් තම අසල්වැසියා වෙත පැමිණ ඔහු ප්‍රයෝගයෙන් මරන්නේ නම්, ඒ තැනැත්තා මරාදමන පිණිස මාගේ පූජාසනය වෙතින් පවා ඔහු ගෙන යා හැකි ය.
15“තම පියාට හෝ මවට හෝ පහර දෙන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය. 16#ද්වි.නී. 24:7මිනිසෙකු බලයෙන් පැහැරගෙන, විකුණන හෝ තමා ළඟ තබාගන්න හෝ තැනැත්තා මරනු ලැබිය යුතුම ය. 17#ලෙවී 20:9; මතෙ 15:4; මාක් 7:10තම පියාට හෝ මවට හෝ සාප කරන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය. 18මිනිසුන් දබර කොට ඔවුන්ගෙන් එකෙකු අනෙකාට ගලකින් හෝ අත මිට මොලවා හෝ පහර දුන් නමුත් ඔහු නොමැරී, ඇඳට වී සිට, 19යළි නැඟිට, සැරයටියක වාරුවෙන් ගෙයින් පිටත ඇවිදින්නේ නම්, එවිට පහර දුන් තැනැත්තාට දඬුවම් නොදිය යුතු ය. එහෙත්, ඔහු අනිත් තැනැත්තාගේ වැඩ නැති කාලය සඳහා වන්දියක් ගෙවිය යුතු අතර, ඔහු සම්පූර්ණයෙන් ම සුව වන තුරු බලාගත යුතු ය.
20“යමෙකු තම දාසයාට හෝ දාසියට හෝ කෝටුවකින් පහර දී එවැන්නෙක් එතැන ම මළේ නම්, ඒ තැනැත්තා දඬුවම් ලැබිය යුතු ම ය. 21එහෙත්, එවැන්නෙක් ජීවත් වන්නේ දවසක් දෙකක් නම් එවිට ඔහුගේ ස්වාමියාට දඬුවම් කරනු නොලැබේ. මන්ද, ඔහු ඒ තැනැත්තා මිල දී ගත් හෙයිනි. 22මිනිසුන් දබර කොට, ගැබ්ගත් ස්ත්‍රියකට පහර දී, ඈ ගබ්සා වූ නමුත් ඇයට අනතුරක් නුවූවත් ස්ත්‍රියගේ සැමියා ඉල්ලන ප්‍රකාර ඒ තැනැත්තාට දඬුවම් දිය යුතු ම ය. තවද, විනිසකරුවන්ගේ තීරණය පරිදි ඔහු වන්දි ද ගෙවිය යුතුයි. 23එහෙත්, අනතුරක් වුවහොත් පණට පණ ද, 24#ලෙවී 24:19-20; ද්වි.නී. 19:21; මතෙ 5:38ඇසට ඇස ද, දතට දත ද, අතට අත ද, පයට පය ද, 25දැවීමට දැවීම ද, තුවාළයට තුවාළය ද, පහරට පහර ද දිය යුතු ය.
26“යමෙක් තම දාසයාගේ හෝ දාසියගේ හෝ ඇසට පහර දී එය අන්ධ කරන්නේ නම් නැති වූ ඇසට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය. 27යමෙකු තම දාසයාගේ හෝ දාසියගේ හෝ දත් ගැලවී යන්න ගැසුවහොත්, දතට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය.”
දේපළ හිමිකරුවන්ගේ වගකීම
28“ගොනෙක් පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හෝ ඇන මරන්නේ නම්, ඒ ගොනාට ගල් ගසා මැරිය යුතු ය. උගේ මස් ද නොකෑ යුතු ය. එහෙත්, ගොනා අයිතිකරුට දඬුවම් කරනු නොලැබේ. 29එහෙත්, ගොනා කලින් පවා අනින්ට පුරුදු එකෙක් නම්, තවද ඒ බව උගේ අයිතිකරුට දන්වා තිබුණ නමුත් ඔහු ඌ කොටු කර නොතැබීම නිසා යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ මැරුවේ නම් ගොනාට ගල් ගසා මැරිය යුතු ය. උගේ අයිතිකරු ද මරනු ලැබිය යුතු ය. 30එහෙත්, ඔහු විසින් ගෙවිය යුතු වන්දිය නියම කර තිබේ නම් තම පණ බේරාගැන්ම සඳහා ඔහුට නියම කරන සියල්ල ඔහු ගෙවිය යුතු ය. 31ගොනා පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට හෝ ඇන මැරුවහොත් මේ නියමය අනුව ම එය ද විසඳනු ලැබිය යුතු ය. 32ගොනා දාසයෙකුට හෝ දාසියකට හෝ ඇන මැරුවහොත්, ඌ අයිතිකරු ඔවුන්ගේ ස්වාමියාට රිදී කාසි තිහක් දිය යුතු අතර ගොනාට ද ගල් ගසා මරාදැමිය යුතු ය.
33“යමෙක් වළක වැස්ම හැර තබන්නේ නම්, නොහොත් වළක් කැණ එය නොවසා තබන්නේ නම්, ගවයෙකු හෝ කොටළුවෙකු හෝ ඊට වැටුණොත්, 34වළ අයිතිකරු අලාභය ගෙවමින් උන්ගේ අයිතිකරුට මුදල් දිය යුතු ය. එහෙත් මළ සතා ඔහුට අයිති වෙත්. 35යමෙකුගේ ගොනෙකු වෙන අයෙකුගේ ගොනෙකුට ඇන මැරුවහොත්, පණ පිටින් සිටින ගොනා විකුණා ඒ මුදල ඔවුන් තමන් අතර බෙදාගත යුතු ය. මළ සතාගේ මස් ද බෙදාගත යුතු ය. 36එහෙත්, කලින් පවා ඒ ගොනා අනින්න පුරුදු එකෙක් නම්, ඌ අයිතිකරු ගොනා කොටු නොකර තැබුවේ නම්, ඔහු වන්දි වශයෙන් ගොනා වෙනුවට ගොනෙකු දිය යුතුයි. එහෙත්, මළ සතා ඔහුට අයිති වේ.”

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

නික්මයාම 21 동영상