නික්මයාම 19

19
සීනයි කන්ද මත දේව ආඥා
1ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ගොස් තෙ වන මස පළමු වන දින සීනයි නම් පාළුකරයට පැමිණියහ. 2ඔව්හු රෙපිඩීම් නම් ස්ථානයෙන් පිටත් ව සීනයි පාළුකරයට පැමිණ එහි කඳවුරු බැඳගත්හ. එහි ඔවුන්ගේ කඳවුර පිහිටියේ කන්ද ඉදිරිපිට ය.
3මෝසෙස් දෙවියන් වහන්සේ හමු වීමට කන්දට නැංගේ ය. එවිට සමිඳාණන් වහන්සේ කන්දේ සිට ඔහුට හඬගසා, “නුඹ ජාකොබ්ගේ පෙළපත වන ඉශ්රායෙල් ජනයාට මෙසේ කිව යුතු ය: 4‘මා මිසර වැසියන්ට කළ දේ ද, මා නුඹලා රාජාලියෙකුගේ පියාපත් උඩ ගෙනෙන මෙන් මා වෙත නුඹලා උසුලාගෙන පැමිණි අයුරු ද නුඹලා දුටුවහු ය. 5#ද්වි.නී. 4:20; 7:6; 14:2; 26:18; තීතස් 2:14 #1 පේදු 2:9එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය. 6#එළිද 1:6; 5:10නුඹලා මට පූජක රාජ්‍යයක් ද කැප වූ ජාතියක් ද වන්නහු ය’ ”යි වදාළ සේක. 7ඉන්පසු මෝසෙස් පැමිණ, සෙනඟගේ ප්‍රජා මූලිකයන් කැඳවා සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ මේ සියලු දේ ඔවුන්ට දැන්වී ය. 8එවිට මුළු සෙනඟ ද එක්සත් ව පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ වදාළ සියල්ල අපි ඉටු කරන්නෙමු”යි කී හ. ඉන්පසු මෝසෙස් සෙනඟ කී දේ සමිඳාණන් වහන්සේට සැළ කෙළේ ය.
9නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.
10සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා, 11තුන් වන දවසට සූදානම් ව සිටිය යුතුයි. තුන් වන දවසේ දී මුළු සෙනඟ බලාගෙන සිටින විට සමිඳාණන් වහන්සේ වන මම සීනයි කන්ද මත බැස එන්නෙමි. 12#හෙබ්‍රෙ 12:18-20නුඹ කන්ද වට කර සෙනඟ මායිමේ සිටුවා, ‘කන්දට නොනඟින හැටියටත්, කන්ද පාමුල ස්පර්ශ නොකරන හැටියටත් පරෙස්සම් වන්නැ’යි ඔවුන්ට කියන්න. යමෙකු කන්ද ස්පර්ශ කළොත් ඔහු ඇත්තෙන් ම මරනු ලැබේ. 13එහෙත්, ඒ තැනැත්තාට අත නොතබා, ඔහුට ගල් ගසනු ලැබිය යුතුයි. නැත්නම් ඔහු ඊගසින් විදදැමිය යුතුයි. මෘගයකු වුවත්, මනුෂ්‍යයෙකු වුවත් ජීවත් නොවිය යුතු ය. හොරණෑව දීර්ඝ ස්වරයක් නංවන විට ඔවුන් කන්ද වෙත පැමිණිය යුතු ය”යි වදාළ සේක.
14මෝසෙස් කන්දෙන් බැස සෙනඟ වෙත පැමිණ නමස්කාරය සඳහා ඔවුන් සූදානම් කෙළේ ය. ඔව්හු ද තමන් වස්ත්‍ර සෝදාගත්හ. 15ඔහු සෙනඟට කතා කරමින්, “තුන් වන දවසට සූදානම් වී සිටින්න; ස්ත්‍රී සේවනයෙන් වළකින්නැ”යි කීවේ ය.
16 # එළිද 4:5 තුන් වන දවස උදා වූ විට කන්ද මත මේඝ ගර්ජනා හා විදුලි කෙටීම් ද, ඝන වලාකුළක් ද, තද හොරණෑ හඬක් ද විය. කඳවුරේ සිටි සියලු සෙනඟ වෙව්ලන්නට වූ හ. 17#ද්වි.නී. 4:11-12එවිට මෝසෙස් දෙවියන් වහන්සේ හමු වන පිණිස සෙනඟ කඳවුරින් පිටතට ගෙනාවේ ය. ඔව්හු කන්ද පාමුල සිටගත්හ. 18සමිඳාණන් වහන්සේ ගිනි ජාලාවකින් කන්ද මත බැස වදාළ බැවින් එය සම්පූර්ණයෙන් ම දුමින් වැසී තිබිණි. එහි දුම, උදුනක දුමක් මෙන් නැංගේ ය. තවද, මුළු කන්ද ම වේගවත් ලෙස දෙදරන්නට විය. 19හොරණෑ හඬ ද දිගට ම නද දෙමින් එන්න එන්න වැඩි විය. මෝසෙස් කතා කළ විට දෙවියන් වහන්සේ ගිගුරුම් හඬකින් උත්තර දුන් සේක. 20සමිඳාණන් වහන්සේ එවිට සීනයි කඳු මුදුනට බැස වදාළ සේක. උන් වහන්සේ මෝසෙස් කඳු මුදුනට කැඳවූ බැවින්, ඔහු ද එහි නැඟී ගියේ ය. 21උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ බැස ගොස් සමිඳාණන් වහන්සේ වන මා බැලීමට මායිම් බිඳගෙන නොඑන පිණිස සෙනඟට අණ කරන්න. නැත්නම් බොහෝ දෙනෙකු නසින්න පුළුවන. 22සමිඳාණන් වහන්සේ වන මා සමීපයට එන පූජකවරුන් ද පවිත්‍ර වීමේ වත්පිළිවෙත් ඉටු කළ යුතු ය. නැත්නම් මම ඔවුන්ට පහර දෙමි”යි වදාළ සේක. 23එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “සෙනඟට සීනයි කන්දට නැඟිය නොහැකි ය. මන්ද, ‘කන්ද වට කර මායිම් සිටුවා එය ශුද්ධ භූමියක් ලෙස කැප කරන්නැ’යි කියා ඔබ අපට අණ කළ බැවිනැ”යි කීවේ ය. 24උන් වහන්සේ ඔහු අමතමින්, “යන්න, බැස ගොස්, නුඹ ද නුඹ සමඟ ආරොන් ද කැඳවා ගෙන නැඟී එන්න. එහෙත් පූජකවරුන් ද සෙනඟ ද සමිඳාණන් වහන්සේ වන මා වෙත නැඟී ඒමට මායිම් නොබිඳිය යුතු ය. එසේ වුණොත් මම ඔවුන්ට පහර දෙමි”යි වදාළ සේක. 25පසුව මෝසෙස් ද සෙනඟ වෙත බැස ගොස් ඔවුන්ට එලෙස දැන්වී ය.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요