නික්මයාම 17

17
පර්වතයෙන් නික්මුණු ජලය
(ගණන් 20:1-13)
1 # ගණන් 20:2-13 තවද, මුළු ඉශ්රායෙල් ජනතාව සීන් නමැති පාළුකරයෙන් නික්ම සමිඳාණන් වහන්සේගේ අණ පරිදි කඳවුරින් කඳවුරට ගොස් රෙපිඩීම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එහෙත්, එහි සෙනඟට බීමට වතුර නො වී ය. 2එවිට ඔව්හු මෝසෙස්ට අවලාද කියමින්, “අපට බොන්න වතුර දෙන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ මට අවලාද කියන්නේ ඇයි? ඔබ කුමක් නිසා සමිඳාණන් වහන්සේ පරීක්ෂා කරන්නහු දැ”යි ඇසී ය. 3සෙනඟ ද පිපාසයෙන් පෙළෙමින් මෝසෙස්ට විරුද්ධ ව කොඳුර කොඳුරා, “ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අප ද අපේ දරුවන් ද අපේ ගවමහිෂයන් ද පිපාසයෙන් මරාදමන්නට දැ”යි විචාළහ. 4මෝසෙස් එවිට සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මේ සෙනඟට මා කුමක් කරන්න ද? ඔව්හු මට ගල් ගසන්නට සැරෙසති”යි කීවේ ය. 5එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඔබ ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් සමහරෙකු ද කැටුව සෙනඟට ඉදිරියෙන් යන්න. තවද, ඔබ ගංගාවේ දියට පහර දුන් සැරයටිය ද ඔබ අත රැගෙන යා යුතු ය. 6බලන්න, මම ද හොරෙබ්හි පර්වතය මත ඔබ ඉදිරිපිට සිටිමි. ඔබ පර්වතයට ගැසිය යුතු ය. එවිට සෙනඟට බීමට ජලය එයින් ගලා එනු ඇතැ”යි වදාළ සේක. මෝසෙස් ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් බලාගෙන සිටිය දී එලෙස කෙළේ ය. 7ඉශ්රායෙල් ජනයා අවලාද කී නිසාත්, ‘සමිඳාණන් වහන්සේ අප අතර ඇද් ද? නැද් ද?’ කියමින් ඔවුන් උන් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඒ ස්ථානයට ඔහු මස්සා සහ මෙරිබා කියා නම් කෙළේ ය.
අමලෙක්වරුන් සමඟ සටන
8එවිට අමලෙක්වරු පැමිණ රෙපිඩීම් නම් ස්ථානයේ දී ඉශ්රායෙල් ජනයා සමඟ සටන් කළහ. 9මෝසෙස් ජෝෂුවාට කතා කොට, “අප උදෙසා ඔබ මිනිසුන් තෝරාගෙන, නික්ම ගොස් හෙට අමලෙක්වරුන් සමඟ සටන් කරන්න. මම දෙවියන් වහන්සේ දුන් සැරයටිය මා අතට ගෙන කඳු මුදුනේ සිටිමි”යි කීවේ ය. 10ජෝෂුවා මෝසෙස් තමාට කී පරිදි අමලෙක්වරුන් සමඟ සටන් කෙළේ ය. මෝසෙස් සමඟ ආරොන් සහ හූර් යන දෙදෙනා කඳු මුදුනට නැඟී ගියහ. 11මෝසෙස් තමාගේ අත් ඔසවාගෙන සිටි තෙක් ඉශ්රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහතට හෙළූ විට අමලෙක්වරු ජයගත්හ. 12එහෙත්, මෝසෙස්ගේ අත් විඩාවට පත් වූ විට, ඔව්හු ගලක් ගෙන ඔහු පිටුපස තැබූයෙන් ඔහු ද එය මත වාඩි විය. එවිට ආරොන් සහ හූර් දෙපැත්තේ සිටගෙන ඔහුගේ අත් උසුලාගෙන සිටියහ. මෙසේ ඔහුගේ අත්, හිරු බැස යන තෙක් ම පහතට නොවැටී තිබිණි. 13ජෝෂුවා, අමලෙක් සහ ඔහුගේ සෙනඟ කඩු පහරින් වනසාදැමී ය. 14#ද්වි.නී. 25:17-19; 1 සාමු 15:2-9එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “මෙය සිහි වන පිණිස, “මම අමලෙක්වරුන් ගැන මතකයක් නැති වන සේ මිහි පිටින් ඔවුන් සම්පූර්ණයෙන් ම මකාදමමි’යි පොතක ලියා, එය ජෝෂුවාට ඇසෙන පරිදි කියන්නැ”යි වදාළ සේක. 15මෝසෙස් පූජාසනයක් තනා ඊට සමිඳා-නිස්සී හෙවත් සමිඳාණන් වහන්සේ මාගේ ධජය කියා නම් තැබී ය. 16මන්ද, ‘ඔබ සමිඳාණන් වහන්සේගේ ධජයට අත ගසන්න, උන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට අමලෙක්වරුන් සමඟ සටන් කරන සේකැ’යි උන් වහන්සේ වදාළ බැවිනි.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

නික්මයාම 17 동영상